Saturday, June 27, 2020

ඇවිලෙන සුලුයි: දිවි නසා ගැනීම සාර්ථක ක්‍රියාවක් ලෙස...


මාර්තු 14 මම ඇවිලෙන සුලුයි බලන්න ලිබර්ටි එකට ගියේ පළමු දර්ශනයටයි. මංගල දර්ශනයටයි. මා එක්කල එතැනට කීපදෙනෙක්ම ගියා. ටිකට් ගත්තේ මා පමණක් වුවත් මා සමග පැමිණි සියල්ලෝම මා අසලින් වූ අඳුරු අවකාශයේ තැනින් තැන වාඩි වුණා. ඇසට පෙනුණු මානයේ මා මෙන්ම ටිකට් අරගෙන සිනමා ශාලාවට පැමිණි සිටි අයවලුන් ගනණ අතේ ඇඟිලි ගණන ඉක්මවා නොගොස් තිබුණෙන් මා සමග පැමිණ අයවලුන් ඉතා සැහැල්ලුවෙන් ඒ අය කැමති කැමති ආකාරයෙන් වාඩිවී සිටිනු මට දක්නට හැකි වුණා. බොහෝ අය සුරුට්ටු දල්වා ගෙන තිරය දෙස බලා සිටිනු දුටුවෙමි. 

සිග්මන් ෆ්‍රොයිඩ් - ජැක් ලකාන් - ජිජැක් - වොන් ට්‍රියර් -ටැරන්ටිනෝ  -  හිච්කොක් -  ඩේවිඩ් ලින්ච් සහ අනෙකුත් බොහෝ අයගෙන් මා වට කර මිනිස් පවුරක් බැඳී  තිබුනෙන් ඒ අය  කියූ බොහෝ දේ මගේ දෙසවනේ රැවු දුනි. ඔවුහු අනවරතව දිගු සංවාදයක යෙදී සිටින්නාහු මා මගේ අදහස් කීපයක් කටු ගා තබන්නට උත්සුක වෙමි. 

අවාසනාවකට හෝ වාසනාවකට මා චින්තනගේ පළමු සිනමා සිත්තම නරඹන්නට යන්නේ ලෝකයම කොරෝනා වසංගතයට යට වෙමින් සිටි මුල් කාලයේ ය. මට හැඟෙන පරිදි චින්තන මේ සිනමාපටය කරද්දි මෙවැනි අවදානම් කාලයක මේ සිනමාපටය තිරගත කරන්නට සිදුවනු ඇතැයි චින්තන මාත්‍රයක් හෝ නොතිබෙන්නට ඇත. එබන්දක් ඔහු සිතා සිටියේ නම් ඔහු තුන්කල් දක්නා නුවණින් හෙබියෙකු යැයි කීමට සිදුවේ. එනමුත් ඔහුට අනුවම එබන්දක් සිදුවිය නොහැකි නිසා ඔහු මේ මුහුන දුන්නේ අප බහුතරයක් සේම කෙසේවත් කල්තියා දක්නට නොහැකි වූ  අහඹු - අවාසනාවන්ත ඉරණකමකටයැයි මම සිතමි. 

එනමුත් ඔහුගේ සිනමාපටය එය තුළින් කියාපාන්නේ කුමක්දැයි සිතීම ලොමුදැහැගන්වන සුළු සිතුවිලි දාමයකට මා ඇදවැටීමකැයි පැවසීමම ඔබට මාගේ මේ ලියැවිල්ල කෙරෙහි පවත්වා ගැත හැකි අවම විශ්වාසය ද පළුදු කරනවා විය හැකි අන්තරාව මම බාරගනිමි. මට සිතෙන්නේ චින්තන ‌මේ සිනමාපටයේ අන්තර්ගතය හරහා අපව කියවා ගන්නට යොමු කරවන ලද්දේ ඔහු තුළ ද ඔහුට ම නොදැනී පැවති කිසියම් දැනුමක් අප වෙත සම්ප්‍රේශනය කරවීම යැයි මම සිතමි. ඒ අරභයා වන ඔහුගේ අවිඥානික දැනුම පිළිබඳ ප්‍රවාදය මින් ඉදිරිපත් කරන්නේ ඔහුට ද කිසියම් තමා පිළිබඳ කිසියම් බාහිරින් පතිතවන ප්‍රක්ශේපනයක් කියවා ගැනීමට යැයි සිතමි. 

මේ සිනමාපටයේ දිවෙන සමස්ත කතාවක් හෝ සිහිනයක් වෙත් නම් ඒ සියල්ල නාභිගත වන එක තැනක් අවසානයේ හමුවෙයි. ඒ නම් ප්‍රධාන චරිතයේ ඌණ පූරකය එනම් නදී නම් වූ කාන්තාව දැනුවත්ව හෝ නොදැනුවත්ව කරගන්නා සිය දිවි හානිය යි. 

නොදැනුවත්ව සිදුවන සිය දිවි හානියක් නොමැත. 

සිය දිවි හානියක් නම් දැනුවත්භාවය හරහා ම සිදුවිය යුත්තකි. 

මා සිතන පරිදි ඉන්ධනයකින් සිරුර තෙත්ව ඇති බැව් හැඟෙන - ඉන්ධන ගඳ සිය නාස්පූඨ හරහා දැනුවත්ව අඝ්‍රාණය කරමින් යථාර්ත ලෝකයේ හුස්ම ගන්නා ගැහැණියක් තෙරපී නැවී සුරුණ්ඩු වී ඇති සිගරැට්ටුවක් දල්වන්නට ලයිටරයක් කොකා ගස්සන්නේ නැත. 

එය අත්වැරදීමක් ද? මේ නිමේෂය අපගේ අර්ථ ලෝකය දෙපළු කරවන සන්ධිස්ථානය යි. 

මාගේ තර්කය නම් සියදිවි හානි කරගන්නා අධ්‍යාශයකින් තොරව මෙම සිගරට්ටුව දල්වා ගැනීමේ ප්‍රයත්නය ට අර්ථයක් ඇති වන්නේ නැත යන්න යි. දැන් මා කල්පනා කරන්නේ ඇය සිය ජීවිතය හානි කරගන්නා තැනට ඒම මේ සිනමාකරු ප්‍රතිනිර්මානය කරමින් සෞන්දර්යකරණය කරන්නේ මන්ද යන්නයි. එය ඔහු දැනුවත්ව කරන්නක් ද යන්න මට අදාලම නැතිමුත් කිසියම් අයෙක් අවිඥානික සහ සවිඥානික යන අතිශය අතත්‍ය සීමා ඔස්සේ පැමිණ එකිනෙක තිර්යක් ලෙස කැපී යන්නා වූ සංථලමය අවකාශයක (topological space) දී අත්කරගන්නේ කුමක් ද? පරිපූර්ණ මිනිස් ක්‍රියාව ද?

A bungled action is, as has been stated, successful from the point of view of the unconscious. Nevertheless, this success is only partial because the unconscious desire is expressed in a distorted form. It follows that, when it is fully and consciously assumed, ‘suicide is the only completely successful act’ (Lacan, 1973a:66–7), since it then expresses completely an intention which is both conscious and unconscious, the conscious assumption of the unconscious death drive (on the other hand, a sudden impulsive suicide attempt is not a true act, but probably a passage to the act). The death drive is thus closely connected with the ethical domain in Lacan’s thought (see the example of Empedocles, E, 104, and Lacan’s discussion of Antigone in S7, ch. 21).

-An Introductory Dictionary of Lacanian Psychoanalysis p.2

ඇයි ඇවිලෙන සුලුයි නම් සිනමා කෘතිය සිය නාමය මේ මොහොතේදීම නිරාවරණය කරන්නේ?

අනෙකුත් සිනමා පටයක සිය හඳුන්වාගැනීම මුලදී හෝ අගදී කළ ද එය සිනමාපටයේ නමේ වාචික අර්ථයට රූපමය අර්ථය සහ සිද්ධිමය අර්තය නමැති ත්‍රිත්වය එකපිට පොලා පැනීම කලාතුරකින් අත්දැකිය හැක්කක් විය හැකිය. (මගේ සිනමාපට බැලීමේ ඉතිහාසය තුළ එවැනි අද්දැකීමක් මා ලබන්නේ පළමුවරටය. එය මාගේ සිනමා අත්දැකීම්වල අඩුවක් ද විය හැකිය.)  මා සිතන්නේ සිනමාකරු මේ අවස්ථාව උපයෝගී කරගන්නේ තමා නොදන්නා සීමාවකින් දන්නා සීමාවක් කරා සිය නිර්මානය තල්ලු කර එය ප්‍රේක්ෂකයා තුළ නැවත ඇවිලවීමට යැයි මම සිතමි. ඒ අවිඥානික උපක්‍රමය සාර්ථක වී ඇතැයි මම සිතමි. මිනිසා ස්වභාවයෙන් පැලුනු විඥානයකින් පෙලෙන්නෙකි. ඒ පැලුනු විඥානය අනෙකුත් නොවේ- සවිඥානය සහ අවිඥානය යි. මෙනයින් නිර්මානකරු අවිඥානිකව ප්‍රේක්ෂකයා පෙළඹවන පෙදෙස වෙත මා තල්ලු වී ඇතැයි උපකල්පනය කළ හැක.  

ඇවිලී මියෙන්නට වන අරුතක් හැඟවුමක් ලෙස දවටා  සමාජගත සිනමා කෘතිය ජනගත වීම තුළින් මිනිස් ආත්මයන් හඹා යවන- වටහාගන්නට ද  අරුත් අලුතින් නිමවා ගන්නට ද  යොමු කරවන සමාජ අවදානමේ හැඩරුව මොනවා විය හැකිද? 

අපි දැන් මේ මොහොත වෙත එමු. 

යථ (Real) මිනිස් ආත්මය වෙත සිය අදෘශ්‍යමාන පණවිඩයක් එවා ඇත. An element. එය රියල් එකේ පැල්මෙන් ආ පණිවිඩයකි. කුමක් ද මේ පණිවිඩය? කොරෝනා. නොහැක්ක. ඉම්පොසිබිලිටිය. impossible. තවමත් මිනිසුන්ට සංකේතනය කරගත නොහැකි වෛරසය (Kantian thing-in-itself).  එය කුමක් කරමින් සිටී ද? එය මිනිසා ගේ ඩෙත් ඩ්‍රයිව් එකට (death drive-මරණ අධ්‍යාශය) ආමණ්ත්‍රය කරමින් සිටී. අපි ඒ ගමන් පථයේ අභිමුව නෙත් කන් අයා ගෙන ෆැන්ටසි ඉල්ලා සිටිමු. අපගේ අවිඥානික ප්‍රයත්නය සවිඥානික ක්‍රියාව හා සමපාත කරවන්නට මේ වෛරසය සැදී පැහැදී සිටී. එනයින් එය ඇවිලීමකි. ලොව පුරා මේ මානසික ඇවිලීම ඔඩු දුවයි. වෛරසයට වඩා වේගයෙන් මිනිස් සංඛ්‍යානය මාධ්‍ය ඔස්සේ ෆැන්ටසික රූප මවා දෙයි. ෆැන්ටසි ඇවැසි වන්නේ නොපැවති දෙයක් මානසික රංග පීඨය මත රඟ දැක්වීමටය. මුකවාඩම ගැලවීමත් පැළඳීමත් දෙකම ෆැන්ටසිගත ය. කොරන්ටයින් වන දවස් දාහතර ද ෆැන්ටසික ය. බොහෝ අය මේ ෆැන්ටසි යතාරූප කරගන්නට උත්සහ  දරමින් සිටියි. දැනුවත්ව වෛරසයට අභියෝග කරන්නන්ගෙන් ෆැන්ටසි මත ෆැන්ටසි පතිත කරවයි. ඔවුහු සමනලී මෙන් වෛරසය හාත්පස දැවටෙන බව සුවඳින් ආඝ්‍රාණය කරමින් සිගරට්ටු දල්වති. සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට නංවති. මරණය ට බිය නැති බැව් කියමින් ෆැන්ටසිගත වෙති.

කිසියම් සත්‍යයකට මුහුණ දීමට වඩා සිය දිවි නසා ගැනීම සාර්ථක ක්‍රියාවක් ද යන්න ලැකානියානු අර්ථයට තර්ජනයක් ගෙන එයි. අවිඥානික මරණාධ්‍යාශයට වඩා කටුක සත්‍යයක් කිසිවෙක් එනතුරු බලා සිටියි ද? සමනලී තැලී පොඩිවී කටු අකුලක් මැද ගිනි දල්වමින් සොයන සත්‍යය එය ද? 


මරණය තවත් කල් දැමිය නොහැකි බැවින් ඔහු පැමිණ අප හා සහවාසයේ සිටියි. කොරෝනාවට දැන් ඒ රූපය කදිමට ලැබී ඇත. හරියටම අර Meet Joe Black (1998) සිනමා පටය මෙන් මරණයේ රූපකය (metaphor) මිනිස් රූ ගෙන අප සමග කාලය ගතකර නිශ්චිත වෙලාවකදී මරණය කරා අප කැඳවා යන්නා සේ කොරෝනා පැමිණ ඇත. බූඩිගේ පළමුවන සිනමා කෘතියේ ද (සිහින දේශයෙන්) මේ මරණයේ සංකේතය මිනිස් ආත්මය සමග සංදර්ශනීය තලයකට කැඳවා එන්නේ 1996 දී පිරිමි රූපයකිනි. ඒ අනභිබවනීය නළු මහේන්ද්‍ර පෙරේරා හරහා ය. ඉන් ඔබ්බට මරණයේ රූපය සමනලී වෙත රූපාන්තරනය කරවන්නට චින්තන සමත් වී ඇත. 

සිය දිවි නසා ගැනීම පිළිබඳ ඇවිලෙන සුළු කතිකාව මේ දැන් අප අවට හමා යනවා දැනෙයි. 

1 කුළිය:

Anonymous said...

makasih atas artikelnya,


visit our website href="https://ittelkom-jkt.ac.id/"