Wednesday, January 28, 2009

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 14

බස් එකේ අද මහ කලබලයක්. ඡන්දයක් ඔනැ දැන්ම ඡන්ද තියන්න බැහැ. බසයේ සිටි අය සියල්ලම වාගේ දෙකට බෙදිලා. මුන්ට පිස්සු ද මන්ද. උන් හදන්නේ ඡන්දෙන් විප්ලව කරන්න. චිලියේ අයියන්ඩෙ දිනුවට පසු ඩෙබ්රෙ ලියූ පොත මට මතක් වෙනව. ඡන්දයෙන් විප්ලව කරන්න පුළුවන් බව අයියන්ඩෙ ඔප්පු කළ බව එදා ඩෙබ්රෙ කීව. ඒත් අයියන්ඩෙත් රටෙ වාමාංශිකයින් දහස් ගණනකුත් ජුන්ටාකාරයින් අතින් මැරුම් කෑ පසු ඩෙබ්රෙ තමන් ලියූ පොතම පුච්චලා දැම්මා. කවදාවත් පරම සත්‍යයක් අසත්‍ය කරන්න බැහැ.


සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Tuesday, January 27, 2009

කඩු පත් බඳු අත්-නන්දන වීරසිංහ

කඩු පත් බඳු අත්

සෝදා පාළු බිම පෙත
පුරවා ලොකු මහත් කළ
ගල් ඇඳි නෙරා ආ බෑවුම්
වෙර වඩා දමනය කළ
පියවරුන් ගේ උද්දාම සිනාහඩ අරගෙන
පහන් දොරින් එන සුළග
අලුත් හුස්මෙන් පුරාලයි ඇගපත

පණු කැලක් සේ ඉල්පුණු
පෑදුනු නහර ගැවසුණු
කොළපු බඳු අත පයෙන්
බෑවුම් හීලෑ කරන
වෙදනා මුහුණ සගවා
සැහැල්ලු ව හිනැහෙන
නෑ සියන් ගේ පැතුම් සහගත කටහඩ
පිරී ගනවෙයි
හේන් යායේ උදැහැන

හෙට දොරට වඩම්මන
බිලිඳු පා පොඩිවලට
ගල් කුළු වැඩෙන මුඩු බිම
මෙළෙක් යහනක් කරමින

දරු මුණුබුරන් වාගේ
දුක් කරදර වඩා ගෙන නළවන
නැති බැරි කම් ඇකයේ ඔබාගෙන
ඇති දැඩි කරන අත් ම ය බලගතු

දුක් මිදුණු මෙ දෙගංබඩ
මල බැඳුණු අවි විලස මොට වුණු
සියල් සිත් ඇතුළත පැහැසර ය
කැටපත් විලස ඔප වැටී
දිලිහෙන දවස නුදුරුය

කපා පෙරළා සරු කරන
පොළෝ පස් මත පඳුරු ලා වැඩී
ඔජස උරා බොන පිළිල
උදුර උදුරා ගිනිලන්ට
ඔප වැටුණු හිත් වලින්
යුගත් කඩු පත්වලට පණ පෙවෙන

නව දිවියක බිජුවට
ඒ අත්වලින් වැපිරෙන
හෙට උදෑසන සිහි කර
සතුටු කඳුළක් පුදන්නෙමි
මෙ හේන් බිම මතුපිට

නන්දන වීරසිංහ
කිරි සුවඳැති රාත‍්‍රිය 1990 උපුටා ගන්නා ලදී.මෙම පද්‍ය සංග‍්‍රහය 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේය.

இ ஏ டொசன் ப்ரேதி

යාල්පානම්-අමල් තුෂාර ප‍්‍රනාන්දු

යාල්පානම්
யால்ப்பானம்


නල්ලූර් දෙවියන් බලන්න
යන්න ඔනැ යාල්පානම්
තුන් සරණේ අස අසා...
ඔබත් එක්ක
මියෙන්නට කලියෙන්
තුටින් නැගෙන්නට කඳුලක්...

කොලොම්පුරෙ පේලි ගේක
නළලේ තිලකේ තියාන පේවී
පිරුණු කලේ නොසැලෙන දිය සේ
ආදරෙ මගෙ හිත පුරවා ගිය දේවි

ඔබ දෙමළ ගම යාල්පානම්
මම දන්නේ අද ඊයේ නොවෙයි...

අරවි ආරු දියවර පාවෙන
පරෙවි පියාපත අහුලාගෙන ...
සිහිනය සිහිනයක් නොවෙ මැයි
දෝතින් මගෙ දෑස් වසා කී දේවී...

ඔබ දෙමළ ගම යාල්පානම්
මම දන්නේ අද ඊයේ නොවෙයි...

අමල් තුෂාර ප‍්‍රනාන්දු
යාල්පානම්2001 පද්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.

එම කවියේම දෙමළ පරිවර්තනය මාධ්‍යවෙදී රවි රත්නවෙල් විසින් එම කාව්‍ය සංග‍්‍රහයට එකතු කර ඇත.

டொந்சன் ப்ரேதி இ ஏ




Sunday, January 25, 2009

අවදියෙන් සිටිමු-උ චෙරන්

අවදියෙන් සිටිමු

අවදියෙන් සිටිමු අපි
මිතුරනි

ශෝකයෙන් වටවු
ලංකා සිතියම
රතු රුහිරු හෙළුවෙ
මෙතෙක් කල්
බොහෝ දෑ පිදුවෙ
මෙ තරම්

වෙනත් කෙනෙකුට වහල් වන්නද

කුලී හමුදාවක් සමග
විප්ලවයක් කුමකටද

අපේ මිහිබිමෙ
අපේ සවිබලෙන්
අපේ දෙපයින්
ඉතින් නැගිටිමු

දිනුවත් දිවි ගෙවමු
පැරදුනත් දිවි ගෙවමු
අපේ පරපුර
අරගලය කළාදෙන්

උ චෙරන්


චෙරන් යාපනයේ උපන් කවියෙකි.

දැනට කැනඩාවෙ වෙසෙන ඔහු යුධයේ ගැඹුරු පීඩාවන් කේනද‍්‍ර කරගත් කාව්‍ය රචනා සමුච්චයක් වන "මරණතුල් වාල්වෝම්" (මරණය තුල ජීවත් වෙමු) හි සම සංස්කාරකවරයකු ලෙසද නූතන දෙමල කාව්‍ය කතිකාවට නැණසරව සබැඳේ.

මෙම උපුටනය නිලාර්එ න් කාසිම් ගේ සහෝදර පියාපත් කාව්‍ය සංග‍්‍රහයෙනි.

සිනාවත-සල්මා

සිනාවත

ගෙයි මුල්ලෙහි
නැති බැරිකම් අතර
සැගව පවතී
මගේ සිනහව

එදා මා නැගූ
හස කැලුම්
විකසිතය
රුවැතිය
ඒවා
හැබෑ වූ හිනාමය
දූවිලි ගසා දා
මතු කර ගනිමි මම
මගේ ඒ සිනහ කැන්

ඒවා විකසිතය
මලින් සුසැදිය
අභිමානනීයය
ඉතිං මතු දින
එබඳු වූ සිනාවන්
මතුකරවිය නොහැක කිසිවකුට

මින් මතුව නැගෙන හැම හිනාවම
දිළිඳු වී
අඩු ලුහුඩුතා ඇතිව පවතීවි
ඉතිං ඒ සිනාවත
කාටවත් පලක් නැත
මට පවා

එදා මා නැගූ ඒ සිනාවන්
හඩන දරු දැරියන්ට
වැන්දඹු ළඳුන්ට
පීඩිත සැමියන්ට
දන්දෙමි

සිනාවෙහි නිසි පල
යොදා ගන්නේ
කෙලෙසදැයි දිවිමගට
මමකියා දෙමි ඔවුන්හට

සල්මා

ඉන්දියානු මුස්ලිම් කිවිඳියකි.

ඇගේ එකම කාව්‍ය සංග‍්‍රහය වන "ඔරු මාලෙයුම් ඉන්නොරු මාලෙයුම්" ( සැඳෑවක් සහ තවත් සැඳෑවක්) හි එන මෙම කවිය දෙමලෙන් සිංහලට පරිවර්තනය කරන්නේ නිලාර්එ න් කාසිම්ය.

නිලාර්ගේ සහෝදර පියාපත් කාව්‍ය සමුච්චයෙන් උපුටා ගන්නා ලදී.

මීට ස්වල්ප කාලයකට පෙර සල්මා ගේ කවියක් බූන්දිය තුල මා විසින් පළ කරන ලද්දෙන් සල්මා අපට ආගන්තුක නොවේ යැයිද සිතමි.

වර්ණ-කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය-The Romantic Opera

වර්ණ -The Romantic Opera

කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය තුල අගක් මුලක් නොවන හිස් තැන් සහ කාල අවකාෂ සමාප්තියෙන් ගොඩනැගීම් තුල සිරව සිත මුදා ගත් ක්ෂණයක තබන සටහනකි මෙය.

කේමදාසයන්ගේ පුනරාගමනයක් ලෙස එක එල්ලේ නිර්වචනය කළ හැකි සිංහල සංධවනියක් නැවත සොයා ගැනීමක් සේ එක වර මට හැගෙන්නේ ඔපෙරා කුලයෙන්ම ස්වයංජාත වන එහි තේමාව විසිනුයි.

කසුන් ගේ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහය වන රැඩිකල් පේ‍්‍රමය තුල ඇකෝස්ටික් ගිටාරයේ ස්වර රාව මානවීයකරණය වී ප‍්‍රතිරාව දුන් නිමෙෂයේ සිට මෙ දෙවන රොමෑන්තික ඔපෙරාව දක්වා වූ පරිණාමය හුදෙක් අහඹුතාවයක් නොවන සමාජ බද්ධ කි‍්‍රයාවලියක් ලෙෂ හඳුනා ගැනීමෙ අවශ්‍යතාව විසින් නොවන්නට මෙම ලියවිල්ල කිසි දින මා අතින් නොලිය වෙනු ඇත.

සංගීතයේ නව්‍යකරණයේ කොන්ත‍්‍රාත්තුව ස්වයංපැවරුමක් බවට පත් කරගත් හෝ සිය ඒකාධිකාරයක් බවට පත් කරගනිමින් ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය උඩුයටිකුරු කිරීමෙ ව්‍යපෘතියේ පෙරගමන්කරුවන් සංගීත ශිල්පීන් එක රැයෙන් සුපිරි තරු බවට සුපර්නෝවාකරණයේ බහුවිධ මාධ්‍ය ප‍්‍රවණතා මාධ්‍යයේ කසුන් වැනි නිර්මාණශීලි විසංයෝජක සංගීතඥයන්ගේ පැවැත්ම හෝ ප‍්‍රාදුර්භූතය සංගීතයේ හෙට දිනය ගැන බලාපොරොත්තු දල්වන්නකි.

සංගීතාත්මය උපදින්නේ හෘදය සංවාදී වීම තුලින් බව තරයේ අදහන්නකු වන කසුන් සිය ස්වාත්මක අව්‍යාජ හඩ මුසු කරන අති මානවීය වූ ප‍්‍රතිබදධිතයා නදීක ගුරුගේය.

නදීක සහ කසුන් අපූර්ව සුසංයෝගයකි.

ඔවුන් මිනිස් කටහඩ එහි නිම්වළලල්ලෙන් ඔබ්බට කැඳවා යන්නෝ වෙති.

වර්ණ එහි කූටප‍්‍රාප්තියයි.

වර්ණ ගීතය වාදන භාණ්ඩවලින් වියුක්ත මානව හඩ පමණක් යොදා නිර්මාණිත ගීතයකි.

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20090125