Thursday, October 14, 2010

පතිනි කාලිය..! අවිච්ඡේද්‍ය විද්‍යුත් හා චුම්බක තරංග කියැවීමක් ලෙස

පතිනි කාලිය..!

රම්භා සේය වුවනත
රතු තිලකයකි නළලත
පතිනි සිරිමා වැනිය දෙනුවන
කාලිය නිදයි හද ගැබ

වේදනාවක් දරා අතීතෙක
බෝදිලිමාට වුව අමතක
කොයි ගොසින් කොයි යම්ද
සත් සියක් පිරිවරට රැවටුන

රත් මල් සුන් බුන්ව විසිරුන
රත් කසී සළු වැතිර වැරහැලිව
මණ්ඩල මිණි පියුම සුපුල්ලිත
ඇතුලත් පිටත් ගැටයුත් න්‍යාසය

මහා පොදු සාධකය
කැටි කළ අන්තරීක්ෂය
ක්වාසාර ස්ඵන්දනය වන
තාරකා දොරටුවයි
පතිනි කාලිය දෝලනය වන

හෂිත අබේවර්ධන

හෂිතගේ මෙම කවිය මාගේ සිත අවුළුවයි. මුල සිට පහලට  පිළිවෙලින් එන වචන මසිත විවිධාකාර වූ සිතිවිලි රූපකායන් සහ ඒ සංඥාර්ථයන් හා බැඳුනු පුරාණෝක්ති සහ භෞතික විද්‍යාත්මක කතන්දර එකට පැටලී ගිනි දළුලයි. එම ඇවිලිල්ලෙන් යමක් ශේෂ වන්නේ ද ඒ මේ සටහනයි.

අප දන්නා විශ්වය අවසාන වශයෙන් තැනී ඇත්තේ ශක්තියෙනි [Energy]. ශක්තියේ විවිධ ප්‍රබේධ වලිනි. ස්වරූප වලිනි. අන්තරීක්ෂ කිරණ යනු විශ්වයේ හටගැන්මේ පටන්ම සකලවිධ දිශාවන් හි සමාන්තරව ගලා යන සූක්ෂම ශක්ති විශේෂයකි. එය විශ්වයේ සෑම තැනම එකකාරව පවතී. සමහරු මෙයට විශ්ව ශක්ති යැයි පවසනවා ද විය හැකිය. කෙසේ වුවද මෙම පසුබිම් ශක්ති විශේෂය පවතින්නේ තරංගමය ස්වරූපයකිනි.[4] සියළු ශක්ති තරංගමය ස්වරූපයෙන් විශ්වය පුරා සැරිසරයි. ‍තරංගයක කිසියම් ආකාරයක උස් පහත් වීමක් හෝ කිසියම් භෞතික මිනුමක උච්ඡාවචනයක් පවතී. එම විචලනය කාලය ඔස්සේ සිදුවන්නක් බැවින් සියළු තරංග ශක්ති සම්ප්‍රේෂණයේ යෙදෙයි.

විශ්වයේ ශක්තිය ගලා යාමේ විශාල කාර්යභාරයක් විද්‍යුත් චුම්භක තරංග හරහා සිදු වේ [Electromagnetic Wave]. මේ විද්‍යුත් චුම්භක තරංග යනු ම එකිනෙකින් ස්වායත්ත පැවැත්මක් සහිත භෞතික රාශින් ද්විත්වයක අන්‍යොන්‍ය සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන ශක්ති විශේෂයකි. විද්‍යුත් චුම්භක තරංග යන යෙදුමෙන්ම මේ ක්ෂේත්‍රයන් දෙක විභාග වේ. විද්‍යුත් ක්ෂේත්‍රයත් [Electric Field] චුම්භක ක්ෂේත්‍රයත් [Magnetic Field] යන ද්විප්‍රකාර ක්ෂේත්‍රයන්ගේ සාමුහිකත්වයෙන් ආලෝකය ඇතුළු සියළු තරංගමය ‍භෞතිකයන් ඉපදී ඇත. මෙම තරංගයෝ සයිනාකාර [sinusoidal wave] වෙති. උච්ඡාවචනය වෙති. සිය කාලය හරහා ගමනේ වේගය ආලෝකයේ නියත වේගය වෙති. එනයින් විද්‍යුත් චුම්භක තරංගයෝ විශ්වයේ රහස් තැනින් තැන ගෙන යන වාහකයෝ වෙති. මේ සත්තාවන් ඉපැරණියෝ විසින් දේවත්වයට හරවා වැඳුම් පිදුම් කිරීම පුදුමයක් නොවේ. ග්‍රීක දේව පුරාණයේ පවා අපට හමු වන ඊ‍කො[Eco] සහ නාසිසස් [Narcissus] යනු එකල ශබ්දයේ සහ ආලෝකයේ භෞතික නියමයන් අතරින් සුපතල පරාවර්තන නියමයන් පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරාවෙන් දැනුම වහනය පිණිස ගොඩ නැගුණු කතන්දර විය හැකිය. ඒවායේ ද අවසානයේ ‍භෞතික නියමයන් දෙවියන්ට ආරෝපණය වී ඇත්තේය. මිනිස් විෂය සීමා අතික්‍රමණය නොවන තැන් දේවාරෝපණය ලද්දෙන් ශක්තියේ භෞතිකත්වය ඉක්මවා ගිය සියළු තැන් දේවත්වයට සමාරෝපණය වූයේ යැයි කීමෙහි වරදක් නැත.

දැන් මේ කවිය දෙසට හැරී බැලූ කල අප දකින්නේ ද්විප්‍රකාර වූ ශක්ති සංකේතකරණයකට ලක් වී ඇති ආකාරයකි. එක අතකින් සිංහල බෞද්ධයන් අදහන භාරත මූලයන් සහිත දේව සංකල්පනා අතරින් පත්තිනි දෙවියන්, අතිශය ආනුභාව සම්පන්න වන අතර ශුභ දේ කෙරෙහි සහ දරුවන් කෙරෙහි බලය පාන දේවතාවියක ලෙස පිළිගන්නා අතර ඊට ප්‍රතිපක්ෂව කාලි, දේවතාවියකට වඩා යක්ෂණියක් ලෙස පිළිගැනුමේ පවතින බැව් පොතපතේ සඳහන්ය. කෙසේ නමුදු සිංහල දේව පුරාණයේ සඳහන් වන්නේ ඇය මුලින් යක්ෂණියකව සිට පසුව දේවත්වයට පත් වී ඇති බවකි.[1]. මෙනයින් ශූභ කාරණා සම්බන්ධව ඇති විෂය ක්ෂේත්‍රයක් මෙන් ම අශුභ කාරණා සබැඳි විෂය ක්ෂේත්‍රයක් ද යනාකාරයෙන් ද්විත්ව ප්‍රතියෝග බල ක්ෂේත්‍රයන් ඝට්ටනය කිරීමට මේ කවියේ සංකේතීය ලෙස පත්තිනි සහ කාලි යෙදුම් උපයෝගී වී ඇත. මෙනයින් උපදින පත්තිනි වැනි දේවතාවියකගේ ගුණ ඇත්තියක, රම්භා වැනි අතිශෝබමාන දේවතාවියකගේ වැනි රූ ඇත්තියකගේ හදවත සැණෙකින්, කාලි වැනි යක්ෂණියකගේ හෝ රෞද්‍ර දේවතාවියකගේ ගතිගුණ හා බැඳ දැක්වීම, කලින් සඳහන් කළ ආකාරයේම එකිනෙක ප්‍රතිවිරෝධි හෝ නොපෑහෙන ශක්ති ද්වයක ඒකත්වය තුළින් ජනනය වන විද්‍යුත් චුම්බක කිරණයක් මෙන් වූ මනුෂ්‍යත්වයේ ස්වභාවය, මේ කවියේ ගැඹුරුම පත්ල බැව් මගේ වැටහීමයි.

මෙබඳු ද්විත්වයක සමා‍යෝජනය මැක්ස්වෙල් [Maxwell Equations] සමීකරණ පද්ධතියේ ප්‍රතිඵල ලෙස විද්‍යුත් චුම්භක තරංගාකාර ව්‍යුහයන් ජනනය වීම හා කදිමට සැසඳේ. එම සමීකරණ විසඳීමේ දුරවබෝධී පියවරයන් මෙන්ම මනුෂ්‍යා විසින් නිර්මිත දේව සංකල්ප ද මතුපිටින් අවබෝධය දුෂ්කරය යන්න‍ මගේ වැටහීමයි.

එබැවින් මේ සඳහන් වන ඇතුලත් පිටත් විසඳුම දුෂ්කර න්‍යාසය [Matrices, Matrixes] යනු මේ ශක්ති ස්වරූපයන් දෙක එකිනෙකින් වෙන්කර ගැනීමට මිනිසා දක්වන අසාර්ථකත්වය පිළිබඳ කදිම ඇඟවුමකි.

න්‍යාස යනු උසස් ගණිතයේ හමු වන සංකල්ප පද්ධතියකි. ඒවා අනුසාරයෙන් විචල්‍යයන් බොහෝ ඇති ගණිත සමීකරණ විසඳිය හැකි තත්වයට පෙරලා ගැනීමේ තාක්ෂණය නිමැවී ඇත්තේ විසඳුමක් ඇති හෝ නැති අවස්ථාව විශද කර ගැනීමේ අවශ්‍යතා විසිනුත්, පරිගනක ආශ්‍රිත වේගයෙන් ගණිතමය සමීකරණ විසඳීමේ ඇල්ගොරිතම නිර්මාණය කර ගැනීමටත් වශයෙන් එය වඩාත් ලං වන්නේ යාන්ත්‍රිකකරණය වූ ගණිතමය පෙදෙසක් ලෙසිනි.

අතිශය පැරණි ශාස්ත්‍රයක් වන ජ්‍යොතිශය වැනි විෂයක පවා ග්‍රහ තාරකාවන් දේවත්වය ට පැමිණ වීමත්, ඒ ඒ ග්‍රහයන්ට අදාලව විවිධ සුවිශේෂී නෛසර්ගික ගතිගුණ ආරෝපණය කිරීමත්, අනන්‍ය ලෙස විවිධ වර්ණ ඒ ඒ දෙවියන්ට සංකේතීයව යොදා තිබීමත් යනාදී  සාධක හේතුවෙන් විසින් මතු කරන අනෙක් කාරණාව නම් දෙවියන්ට අදාල භෞතික විද්‍යාවක් තුළ එම විද්‍යුත් චුම්භක තරංග වල ගති සොබා වෙන් වී ඇති බවයි. මේ වැඩි දුර අධ්‍යයනය කළ යුතු විශය ක්‍ෂේත්‍රයක් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස වික්‍රමයට අධිපති ලෙස සැළකෙන් කුජ ග්‍රහයාට අයත් වර්ණය රතුය. එම ග්‍රහයා වස්තු විෂය වන්නා වූ ක්ෂේත්‍රය වඩාත් ලංව පරීක්ෂා කළ විට එහි ගතිගුණ සංකේතීකරණය වන්නා වූ ආකාරය පහත දැක්වෙන පරිදි සාරාංශ කළ හැකිය.

රූප ස්වභාවය යටතේ කෲර, රතු ඇස් ඇති, චපල, පපුව පළල්, පිත් අධික, ක්‍රෝධ ඇති ,නහර ඉල්පි, ශක්තිමත්, මධ්‍යම ප්‍රමාණ ශරීරයක් ඇති, ප්‍රඥාවත්, රතිකෙළියෙහි ලොල් වූ , ඔටුන්නක් හිස පැළඳි රූපයකි.

වාහනය-මොණරා
ආයුධය-රණ අංකුසය
වාසස්ථාන-අග්නිස්ථානය
ස්ත්‍රී/පුරුෂ-පුරුෂ
කෲර/ සෞම්‍ය-කෲර
වණීය-ලේ රත
වංශය-ක්ෂත්‍රිය
නිලය-සේනාධිපති
අවතාරය-නරසිංහ
දිසාබල-දකුණ

උපුටනය ජීවිතය හා ග්‍රහයෝ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ පිටුව 99

දැන් මෙයාකාර වූ ශක්ති විස්තර වන්නාවූ කුජ ග්‍රහයා සංකේතීය ලෙස මිනිස් ස්වභාවයන් ද ‍භෞතික රාශි ගුණ ස්වභාවයන් ද යනාදී වූ ද්විත්වප්‍රකාර වූ සොබාවන් දරයි. මේ මිනිසා සිය දැනුම නිපදවීමේ මුල් අවදි තුළ ‍භෞතික ශක්ති හඳුනා ගන්නට දැරූ උත්සාහයත්, ඒවායේ ඇති වත්මන් තතු හා සැසඳෙන විද්‍යාත්මක කරුණු කාරණා සමග ඇති සම්බන්ධයත් මැනවින් පෙනේ. අඟහරු ග්‍රහයාගේ ප්‍රභාව හෝ එහි සාපේක්ශ විශාලත්වය හෝ එහි බැමුම යනාදී දේ විවිධ අන්‍යාර්ථයෙන් පිළිබිඹු වීමක් මේ වසර දහස් ගණනක් පැරණි හැඟවුම් තුළ වෙයි. මෙනයින් වර්තමාන‍යේ විද්‍යුත් චුම්භක තරංග පිළිබඳව මැක්ස්වෙල් සමීකරණ අපව සිරකරන දුරවබෝධයම මෙම ජ්‍යොතිශ සිද්ධාන්තවලට පසුබිම් සපයන මෙවැනි අතිශය ගුප්ත සංකේතීකරණයන් විසින් ද සපයයි.

පත්තිනිය ගින්නෙන් ,මලෙන්, අඹෙන් ආදියෙන් සත්වාරයක් උපන් හෙයින් "සත් පත්තිනි" යැයිද දොළොස් වාරයක් "දොළොස් පත්තිනි" යැයි ද සඳහන් වන්නීය. මේ උපන් කථා පිළිබඳ විවිධ මත ජනප්‍රවාදයේ ඇත. එනම් දෙමට මලෙන්, ගනි කඳෙන්, නයි කඳුලෙන්, විදුලියෙන් ,පිනි බින්දුවෙන් ,සිඟාරැල්ලෙන්, මවිත අඹෙන් ,සළු පොටෙන්, නුග පත්‍රයෙන් ,කදුරු පොත්තෙන්, හෙණයෙන්, ජලයෙන් යනුවෙනි.

සිංහල දේවපුරාණය 284 පිටුව

මේ ආකාරයෙන් දේව සංකල්ප උපදනා ස්ථාන අතර ශක්ති අවස්ථාද වන බැවින් උක්ත ධර්මතාව කදිමට පැහැදිලි වන්නේ යැයි ඉඟි සැපයිය හැකිය. අනෙක් අතට දේවතාවන් උත්පත්තිය ලද අයුරු දැක්වෙන ප්‍රවාද වලද බොහෝ විට දැක්වෙන්නේ මේ හා සමාන ශක්ති ස්වරූප ආශ්‍රය කරගෙන බැව් වැඩි දුර සොයා බැලීමෙන් දත හැකිය. එකම ශක්ති ප්‍රබේධයක් ද බොහෝ ශක්ති ස්වරූපවලින් උපත ලබන්නටත් පරිවර්තනය වන්නටත් හැකියාව ඇත්තේය. උදාහරණයක් ලෙස බැටරි කෝෂයක අන්තර්ගත රසායන ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියාවෙන් රසායන ශක්තියෙන් විද්‍යුත් ශක්තිය ද නැවත එම විද්‍යුත් ශක්තිය විදුලි බුබුලක් හරහා යද්දී ආලෝක ශක්තියට ද තාප ශක්තියට ද යනාදී වශයෙන් පරිවර්තනය වෙමින් අනවරතව ගලා යයි. 'ශක්තිය කිසිදා නොනැසේය' යන්න භෞතික විද්‍යාවේ ප්‍රකට ප්‍රවාදයකි. අයින්ස්ටයින් ශක්තිය සහ පදාර්ථය අතර පරිවර්තන සමීකරණය ලොවට හඳුන්වා දුන්නේය. ඉන් ඔබ්බෙන් ශක්තිය සහ පදාර්ථය මෙන්ම අවකාශය හා ගුරුත්වය අතරද සම්බන්ධතා වැඩි දියුණු කර ඇත්තේය.
කවරාකාරයෙන් කීවත් වර්තමාන විද්‍යාව විසින් අත්පත් කරගනිමින් සිටිනා භෞතික විද්‍යා දැනුමේ ප්‍රාථමික ස්වරූපයන් දේවසංකල්ප තුළ ගිලී ඇති බැව් කෙටියෙන් මතුරමි.

මේ කව හරහා අපව කුළු ගන්වන මේ මනස් සිතුවම එහි දුරවබෝධ පෙදෙස් කෙරෙහි අප සිතුම් මෙහෙයවන ඒ ස්වභාවය, කවියක් රිද්ම ලක්ෂණ ඔස්සේ, ව්‍යංගාර්ථ ඔස්සේ නව දැනුමකට අපව මෙහෙය වන්නට ඇති විභවය පිළිබඳ කදිම නිදර්ශනයක් සපයන්නේ යැයි මට සිතේ.
ගැහැණියගේ සංකීර්ණතාව ය පළ කරන මේ 'උසස් ගණිතමය' කාව්‍ය යනු එතරම්ම කේඕටික [Chaotic, වියවුල්] න්‍යාසයකි.

බෝදිලිමා ගැබිනියක ගේ ප්‍රසව වේදනාත්මක හඩ හා සමාන හඩක් නිකුත් කරන අවතාරයකැයි පොතපතේ සඳහන් ය. කාලි හෝ පත්තිනි හෝ රම්භා යනුද විවිධ අවතාරය. අවතාරය යනුද දේවත්වය හා සබැඳි සංකල්පයෝය. ශක්ති විශේෂ හඳුනා වෙන්කර ගැනීමට පුරාතනයන් යෙදූ සංකේතයෝය. ඒවා මැක්ස්වෙල් සමීකරණයේ හෝ කේඕටික් [Chaotic]සිද්ධාන්ත අස්සේ සැඟවී සිටිති.

දෝලනය වන්නා වූ දෙයක් තරංගයක් වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. පත්තිනි සහ කාලි දේවතා දෝලනය තුළ හැඟවුම් වන තරංගාකාර ශක්ති පරිවර්තනය විද්‍යුත් චුම්භක තරංගාකාර ‍භෞතිකයක් අප වෙත ගෙන හැර පායි. මිනිස් මනසේ ගැඹුර ස්පර්ශ කරමින් ලියැවුනු මේ කව ඒ තරම්ම සංයුක්ත අතීත සහ වර්තමාන දැනුම එකිනෙක ගැටීමේ තෝතැන්නක් ද නිර්මාණය කරන බැව් මගේ අදහසයි.

Somehow the wondrous promise of the earth is that there are things beautiful in it,things wondrous and alluring,and by virtue of your trade you want to understand them. Mitchell J. Feigenbaum-Gleick, p. 187.

ප.ලි.

හෂිත අබේවර්ධන ලියූ මේ කවිය මා ඇස ගැටුන මොහොතේම ලංකාවේ "සිංහල දේව පුරාණය" මා සතු නොවීම ගැන කනස්සල්ලක් ඉපදුනි. මම වහා හෂිතට දුරකතන ඇමතුමක් දුන්නේ පසුගිය පොත් සල්පිලෙන් "සිංහල දේව පුරාණය" පොත ඔහු මිල දී ගත් බැව් මගේ මතකයේ තිබු බැවිනි. අවශ්‍ය පිටු කීපය ඔහු මා වෙත සැණින් ඊමේල් කළ බැවින් මගේ කර්තව්‍ය පහසු විය. පළමුව කවිය ලිවීමටත් දෙවනුව "සිංහල දේව පුරාණය" කෘතියේ කාලි පත්තිනි විස්තර පිටු මා වෙත ලැබෙන්නට සැලැස්වීම පිළිබඳවත් හෂිතට මගේ ස්තුතිය පිරිනමමි‍.


න්‍යාස පිළිබඳ කවියේ එන යෙදුම විග්‍රහ කිරීමට තවත් ප්‍රදේශයකින් ඇතුළු විය හැකිය. එනම් ගැබක් හට ගැනීමේ යාන්ත්‍රණය [Embryology] තුළ සිදුවන තොරතුරු ප්‍රචාලනය වීම පිළිබඳ ඇති ප්‍රවාදාත්මක එළඹුමයි. මේ ගැන ලිවීමට කාලයත් අවකාශයත් ඇවැසිය.මතුවට තබමි එය.


ආශ්‍රිත ග්‍රන්ථ:

1. සිංහල දේවපුරාණය-ධර්මදාස/තුන්දෙනිය 1994
2.පුරාණෝක්ති සංග්‍රහය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
3. ජීවිතය හා ග්‍රහයෝ-හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ
4. A Student’s Guide to Maxwell’s Equations-DANIEL FLEISCH-Wittenberg University
5. A Brief History of Time-Stephen Hawking
6. Chaos Theory-The Essentials for Military Applications-Glenn E. James Major, U.S. Air Force
7. මහා සිංහල ශබ්දකෝෂය-ගුණසේන

ග්‍රැෆිකයේ දැක්වෙන්නේ නට්‍රාජ් අනුරුවකි. උපුටා ගත්තේ මෙතැනිනි.

හෂිත අබේවර්ධන ගේ උපන් දිනය වන අද දින 14/10/2010 ලියැවුනු මේ ලිපිය ඔහුට ත්‍යාගයක් වේවා!

4 කුළිය:

Lishan Puwakovitage said...

මිනිස් පුත්‍රයෙකුට කවියක් පියවි සිතින් මෙහෙම දිග අරින්න පුලුවන්ද අප්පා!!

veeraya said...

මං උදෙන්ම සුරංගනා කතාවක් කියවලා හිටියේ.....
ඒකත් එක්ක මේක අම්මට හුඩු......

මට එලෝ පොල් පෙනී ඇත. සර්වාංගයම ඇඹරලා රෙද්දක් මිරිකනවා වගේ මිරිකලා වනලා ගසලා වැලකට දැම්මා වගෙයි බං මේක.....

හෂිත said...

මට උපත දුන් මහා න්‍යාසයට මේ අයුරින් කෘතඥ වීමට ඉඩක් වෙන කොයින් එන්නද?

එම් කුලකය දුටුවිට මට ගර්භාෂයක හරස්කඩ සිහි වෙන්නේ ඇයි? මේ පේලි උපදින්නේ එතනින්...!

ඩෝසන් ගේ ශ්‍රමයට පිං.

http://en.wikipedia.org/wiki/Mandelbrot_set

Chirantha said...

සොයුරනි නුඹලා
විසල් නුගරුක් ය
අප හට
සා ගිනි නිවේ
ඉගිලෙනා කාලය නොදැනේ
ඒ විසල් තුරු යට