“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” — AI යුගයේත්?

 


“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” — AI යුගයේත්?

අපි කුඩා කාලයේ ඉගෙනගත්ත කවියක් තියෙනවා.
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
මේ කවියේ තියෙන්නේ මනුෂ්‍යාගේ දැනුම ගැන පැරැන්නෝ දරාපු විශ්වාසයක්. දේපළක් සොරකම් කරන්න පුළුවන්. පොතක් පුළුස්සන්න පුළුවන්. ධනය රාජසන්තක කරන්න පුළුවන්. නමුත් කෙනෙකු ඉගෙනගත් දෙය ඔහුගේ මනසින් සොරකම් කරන්න බැහැ.
ඒ අදහස මනුෂ්‍යයන් අතර දැනුම සංසරණය වූ ලෝකයක බොහෝ දුරට සත්‍යයක්.
මම පොතක් කියවනවා. පොතේ අදහස් මගේ මතකයට, භාෂාවට, සිතන ආකාරයට එකතු වෙනවා. අවුරුදු ගණනකට පස්සේ ඒවා මගේ ලිවීම තුළත් පෙනෙන්න පුළුවන්. එහෙත් ඒ ඉගෙනීම සිදුවන්නේ සීමිත මනුෂ්‍ය ජීවිතයක් ඇතුළේ — මතකය, අමතක වීම, විවේචනය, අත්දැකීම සහ ශරීරය හරහා.
AI training එක මේ පැරණි තත්ත්වය වෙනස් කරනවා.

ලක්ෂ ගණනක් නොව බිලියන ගණනක් වචන, පොත්, ලිපි, කවි, රූප සහ අනෙකුත් මනුෂ්‍ය නිර්මාණ computational process එකකට ඇතුළු කළ විට, ඒවා තවදුරටත් අපට හඳුනාගත හැකි “මේ කතුවරයාගේ කෘතිය” ලෙස model එක තුළ පවතින්නේ නැහැ. Training process එක හරහා ඒවා numerical representations, statistical relationships සහ model parameters වෙනස් කිරීමට දායක වන “සංඛ්‍යාත්මක බලපෑම්” බවට පත්වෙනවා.

සරලව කිව්වොත්, අවසානයේ අපට පෙනෙන්නේ ඉලක්කම් සහ ඒවා අතර සම්බන්ධතා ගොඩක්. කතුවරුන්ගේ නම් අතුරුදහන් වෙනවා. ඔවුන්ගේ වචන භාවිතය, සිතීමේ රටා, ශෛලීන් සහ ඒවා අතර සම්බන්ධතා ඇති කළ බලපෑම් පමණක්, කාගේදැයි වෙන්කර හඳුනාගන්න බැරි තරමට, ඒ සංඛ්‍යාත්මක ව්‍යුහය තුළ විසිරී යනවා.

මෙතැන මට පෙනෙන වැදගත්ම ප්‍රශ්නය copyright එක පමණක් නොවෙයි. (ඒ ගැන ජාත්‍යන්තර පරිමාණයෙන් විශාල සංවාදයක් වගේම නීතිමය ක්‍රියාමාර්ග අටෝරාසියක් මේ වන විටත් පසුබිමේ සිදුවෙමින් පවතිනවා.)
කතුවරයාගේ intellectual signature එකට සිදුවන්නේ කුමක්ද? ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවයට, ලිවීමේ style එකට, තමන්ටම ආවේණික වූ සිතීමේ හා ප්‍රකාශ කිරීමේ රටාවට සිදුවන්නේ කුමක්ද?
මිනිසෙක් තවත් මිනිසෙකුගෙන් ඉගෙනගන්නා විට අපට තවමත් කියන්න පුළුවන් — “මම මේ අදහස Freud ගෙන් ගත්තා”, “මේ සංකල්පය Lacan ගෙන්”, “මේ වාක්‍යය මේ කවියාගෙන්.” මම මෙතැන කියන්නේ plagiarism ගැන නොවෙයි. අපේ සිතීම තුළ පවා අප ඉගෙනගත් දේවල්වල intellectual genealogy එකක් — ඒ අදහස් පැමිණියේ කොහෙන්ද, කාගෙන්ද කියන මිනිස් සම්බන්ධතාවයක් — තවමත් ඉතිරි වෙනවා කියන එකයි.
නමුත් විශාල AI model එකකදී එම genealogy එක බොහෝවිට අපට නැවත හඳුනාගත නොහැකියි. දහස් ගණනක මනුෂ්‍ය intellectual signatures එක statistical matrix එකක බලපෑම් බවට විසිරී යනවා. පසුව model එකෙන් එන වාක්‍යයට ඒ සියලු මිනිසුන්ගේ නම් footnote එකකවත් නැහැ.
ඒ නිසා මෙය “AI එක පොත් copy කරනවාද?” කියන ප්‍රශ්නයට වඩා විශාල ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා.
අපි ශතවර්ෂ ගණනක් විශ්වාස කළේ දැනුම සොරකම් කළ නොහැකි ධනයක් කියලා.
AI යුගය අපෙන් මෙහෙම අහනවා:
දැනුම සොරකම් කළ නොහැකි නම්, කෙනෙකුගේ බුද්ධිමය ශ්‍රමය ඔහුගේ නමෙන් වෙන් කර, සංඛ්‍යා බවට පත් කර, වෙනත් බුද්ධියක හැකියාවක් බවට absorb කළ හැකිද?
එහෙම කළ හැකි නම්, “උගත මනා ශිල්පය” සොරකම් කළ නොහැකි බව තවමත් සත්‍ය වුණත් — එම ශිල්පය නිර්මාණය කළ මිනිසාගේ intellectual signature එක සොරකම් නොකරම මකා දැමිය හැකිද?
“තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
...
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”
සමහරවිට කවියේ කියන දේ අදටත් සත්‍යයි. උගත් ශිල්පය මිනිසාගෙන් උදුරා ගන්න බැහැ.
නමුත් AI යුගයේ අභියෝගය, ඒ ශිල්පය උදුරා ගන්නේ කෙසේද යන්න නොවෙයි කියලයි මම හිතන්නේ: නිර්මාණය කළ මිනිසා නොපෙනී යන තරමට, ඔහුගේ ශිල්පය වෙනත් බුද්ධියක හැකියාවක් බවට පත් කළ හැකිද යන්නයි.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්