යන්ත්‍රය සාධනයක් ගොඩනඟන විට: රීමාන් කල්පිතය, විද්‍යාඥයාගේ ආශාව සහ ලකාන්ගේ කතිකාවන් හතර
යන්ත්‍රය සාධනයක් ගොඩනඟන විට
රීමාන් කල්පිතය, විද්‍යාඥයාගේ ආශාව සහ ලකාන්ගේ කතිකාවන් හතර
රීමාන් කල්පිතය, විද්‍යාඥයාගේ ආශාව සහ ලකාන්ගේ කතිකාවන් හතර
01 වසර 167ක් පැරණි ප්‍රශ්නයක් ඉදිරියේ මිනිසෙක් සහ යන්ත්‍රයක්
1859 දී බර්න්හාර්ඩ් රීමාන් ඉදිරිපත් කළ රීමාන් කල්පිතය (Riemann Hypothesis) ගණිතයේ ප්‍රසිද්ධතම නොවිසඳුණු ප්‍රශ්න අතරින් එකකි. 2026 නොවැම්බරයේ ලෙවන්ට් ඇල්පොගේ (Levent Alpöge) සහ Anthropic සමාගමේ Claude පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාධන ප්‍රකාශය නිසා එය නැවතත් දැඩි අවධානයට ලක්විය. එහි විශේෂත්වය වන්නේ සාධනයක් යෝජනා කිරීම පමණක් නොව, එය පරිගණකයකින් පරීක්ෂා කළ හැකි විධිමත් භාෂාවකින් ගොඩනැඟීමයි.
මේ පිළිබඳව දැන් සමාජ මාධ්‍ය තුළ ඉතා පුළුල් කතිකාවක් ගොඩනැඟෙමින් පවතී. විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ විග්රහයන් ඉදිරිපත් වෙයි. මගේ මේ උත්සාහය එම කතිකාව තුළ එතරම් අවධානයට ලක් නොවූ වෙනත් ක්ෂේත්රයකට මෙම සංසිද්ධිය රැගෙන ගොස් විමසා බැලීමයි.
වාර්තා වූ විධිමත් සාධන ලේඛනාගාරයේ ගොනු 175,000කට ආසන්න ප්‍රමාණයක් සහ කේත පේළි මිලියන 17කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බව කියැවේ. එහෙත් පරිගණක පරීක්ෂණයක් සාර්ථක වීම, සාධනයේ ගැඹුරු ගණිතමය අදහස මිනිසුන් විසින් අවබෝධ කරගැනීම සහ එය ගණිත ප්‍රජාව විසින් පුළුල් ලෙස පිළිගැනීම එකම දෙයක් නොවේ.මිලියන ගණනක කේත පේළි කියවා අවබෝධ කරගැනීමට නැවතත් පරිගණක වෙතම යොමු වීමට සිදුවීම එක්තරා උත්ප්රාසයකි. මිනිසාට එතරම් විශාල තර්ක පද්ධතියක් කියවා, එහි සමස්තය අවබෝධ කරගත හැකිද යන ප්රශ්නය, මිනිස් සංහතියේම බුද්ධිමය හැකියාවන්ගේ සීමාවන් පිළිබඳ ගැඹුරු අභියෝගයක් මතු කර ඇතැයි ද කිව හැකිය.
එහෙත් මේ සිදුවීම මට වැදගත් වන්නේ තවත් ප්‍රශ්නයක් නිසාය. යන්ත්‍රයක් ගණිතමය තර්ක නිපදවන විට, ප්රශ්නය තෝරාගන්නා මිනිසාගේ චින්තනයත්, දැනුම සමඟ ඔහු පවත්වන සම්බන්ධතාවත් කෙසේ වෙනස් වේද?
මේ ක්‍රියාවලියේදී සිතුවේ කවුද? ගණිතඥයාද, කෘත්‍රිම බුද්ධියද, නැතිනම් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ අන්තර්ක්‍රියාව තුළින් වෙනස් ආකාරයක දැනුමක් නිෂ්පාදනය වූවාද? ගණිතමය ප්‍රකාශයක් සත්‍ය බව පරිගණකයකින් තහවුරු කළ හැකි වුවත්, එය සත්‍ය වන්නේ ඇයිද යන්න මිනිසාට පැහැදිලි නොවන්නේ නම්, අප එය අවබෝධ කරගත් දැනුමක් ලෙස සැලකිය යුතුද?
මේ ප්‍රශ්න සලකා බැලීමේදී ප්‍රංශ මනෝවිශ්ලේෂක ජාක් ලකාන්ගේ (Jacques Lacan) කතිකාවන් හතර පිළිබඳ න්‍යාය අපට වෙනස් දාර්ශනික ප්‍රවේශයක් ලබා දෙන බව මට සිතෙනවා.
02 රීමාන් උපකල්පනයේ මූලික අදහස
ප්‍රථමක සංඛ්‍යා (Prime Numbers) යනු 1ට වඩා විශාල, 1 සහ තමන් හැර වෙනත් ධන පූර්ණ සංඛ්‍යාවකින් බෙදිය නොහැකි සංඛ්‍යාය. 2, 3, 5, 7 සහ 11 ඒවාට උදාහරණ වේ. ඒවායේ ව්‍යාප්තිය අහඹු ලෙස පෙනුණත්, විශාල පරාසයන් තුළ ගණිතමය රටා තිබේ. මේ ගැන මා කලින් සවිස්තරාත්මක ලියැවිල්ලක් පළ කොට ඇත.
යම් ධන සංඛ්‍යාවක් X දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන π(X) ලෙස දැක්විය හැකිය.
π(X) = # { p ≤ X : p ප්‍රථමක සංඛ්‍යාවකි } මෙහි π සංකේතයෙන් අදහස් කරන්නේ අදාළ කොන්දේසිය සපුරන සංඛ්‍යා ගණනයි. උදාහරණයක් ලෙස, 10 දක්වා ප්‍රථමක සංඛ්‍යා හතරක් ඇති නිසා π(10) = 4 වේ.
ප්‍රථමක සංඛ්‍යා ප්‍රමේයය (Prime Number Theorem) අනුව, X ඉතා විශාල වන විට,
මෙහි ln X යනු ස්වාභාවික ලඝුගණකයයි. ∼ සංකේතයෙන් අදහස් කරන්නේ X අසීමිතව වැඩිවන විට මෙම ප්‍රකාශන දෙකේ අනුපාතය 1 වෙත ළඟා වන බවයි. එනම්, ප්‍රථමක සංඛ්‍යා ව්‍යාප්තියේ ප්‍රධාන රටාව ගණිතමය වශයෙන් ඇස්තමේන්තු කළ හැකිය.
රීමාන් සීටා ශ්‍රිතය (Riemann Zeta Function) යනු සංකීර්ණ සංඛ්‍යා මත නිර්වචනය කළ හැකි විශේෂ ශ්‍රිතයකි. සංකීර්ණ සංඛ්‍යාවකට තාත්වික හා අතාත්වික කොටස් තිබේ. එය s = σ + it ලෙස ලිවිය හැකි අතර, මෙහි σ තාත්වික කොටසත්, t අතාත්වික කොටසේ සංගුණකයත් වේ. i² = −1 යන්නෙන් අතාත්වික ඒකකය නිර්වචනය වේ.
සීටා ශ්‍රිතය මුලින් පහත අනන්ත ශ්‍රේණියෙන් නිර්වචනය කළ හැකිය.
මෙම ශ්‍රේණිය සෘජුව අභිසාරී වන්නේ තාත්වික කොටස 1ට වඩා විශාල වන විට පමණි. එහෙත් විශ්ලේෂණාත්මක දිගුව (Analytic Continuation) නම් ගණිතමය ක්‍රමයෙන්, s = 1 හැර අනෙකුත් සංකීර්ණ සංඛ්‍යා සඳහාද සීටා ශ්‍රිතය අර්ථ දැක්විය හැකිය.
සීටා ශ්‍රිතයේ තාත්වික කොටස 0 සහ 1 අතර පිහිටන සියලුම ශුන්යස්ථානවල තාත්වික කොටස හරියටම 1/2 බව රීමාන් උපකල්පනය කියයි. ගණිතයේදී මේවා Non-trivial Zeros ලෙස හැඳින්වේ.
මෙය ප්‍රථමක සංඛ්‍යා ගණනය කිරීමේදී ඇතිවන දෝෂ කොපමණ විශාල විය හැකිද යන්නට සම්බන්ධය. ඒ නිසා ශුන්යස්ථාන පිළිබඳ ප්‍රශ්නයක්, ප්‍රථමක සංඛ්‍යා ගණනය කිරීමේ දෝෂ සීමා කිරීමේ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කළ හැකිය.
03 පළමු පියවර: ප්රශ්නය ප්‍රථමක සංඛ්‍යා සීමාවක් බවට පත් කිරීම
වොන් මැන්ගෝල්ට් ශ්‍රිතය (von Mangoldt Function) ප්‍රථමක සංඛ්‍යා බලයන්ට විශේෂ බරක් ලබා දෙයි. එය පහත ආකාරයට නිර්වචනය කළ හැකිය.
මෙහි p යනු ප්‍රථමක සංඛ්‍යාවක් වන අතර k ධන පූර්ණ සංඛ්‍යාවකි.
මෙම ශ්‍රිතය භාවිතයෙන් ප්‍රථමක සංඛ්‍යා සහ ඒවායේ බලයන් එකතුවක් ලෙස නිරූපණය කළ හැකිය. උදාහරණයක් ලෙස,
යන්න චෙබිෂෙව් ශ්‍රිතය (Chebyshev Function) ලෙස හැඳින්වේ. එය ප්‍රථමක සංඛ්‍යා ව්‍යාප්තිය පරීක්ෂා කිරීමට භාවිත කරන වැදගත් ශ්‍රිතයකි.
ප්‍රථමක සංඛ්‍යා ප්‍රමේයය අනුව ψ(X) හි ප්‍රධාන වර්ධනය X මඟින් නිරූපණය කළ හැකිය. එබැවින් එහි දෝෂය,
ලෙස නිර්වචනය කළ හැකිය. රීමාන් උපකල්පනය සත්‍ය වීම පහත ආකාරයේ දෝෂ සීමාවක් සමඟ සමාන ගණිතමය අර්ථයක් දරයි.
මෙහි O සංකේතය (Big-O Notation) මඟින් අදහස් කරන්නේ දෝෂයේ විශාලත්වය, ප්‍රමාණවත් තරම් විශාල X සඳහා, දක්වා ඇති ප්රකාශනයේ නියත ගුණාකාරයකට වඩා වැඩි නොවන බවයි.
ඒ අනුව මෙහිදී අවශ්‍ය වන්නේ මුල් එකතුවම වර්ගමූල පරිමාණයකින් සීමා කිරීම නොව, එහි ප්‍රධාන වර්ධන කොටස ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන දෝෂය සුදුසු ආකාරයකින් සීමා කිරීමයි.
ඇල්පොගේ–ක්ලෝඩ් සාධන ප්රයත්නයේදී සාමාන්‍ය චෙබිෂෙව් එකතුවට අමතරව, විශේෂ බර යෙදූ ප්‍රථමක සංඛ්‍යා එකතුවල සීමා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇතැයි විස්තර කෙරේ. එවැනි සීමා සහ සීටා ශ්‍රිතයේ ශුන්යස්ථාන අතර සම්බන්ධතාව ගොඩනැඟීම මෙහි මූලික ගණිතමය අභියෝගයකි.
මෙහි දාර්ශනික වැදගත්කම වන්නේ පිළිතුර සොයන ක්‍රමය පමණක් නොව, ප්රශ්නය ප්‍රකාශ කරන ගණිතමය භාෂාවම වෙනස් කිරීමයි. සංකීර්ණ සංඛ්‍යා තලයේ ශුන්යස්ථාන පිළිබඳ ප්‍රශ්නයක්, පූර්ණ සංඛ්‍යා එකතුවක දෝෂය සීමා කිරීමේ ප්‍රශ්නයක් බවට පත්වෙයි.
එහෙත් මෙහිදී මුල් ප්රශ්නය අතුරුදහන් වී නැත. එය වෙනත් ගණිතමය ව්‍යුහයක් තුළ නැවත ප්‍රකාශ වී ඇත.
04 දෙවන පියවර: ස්ටෙපනොව්ගේ ක්‍රමය සහ තීටා ලිෆ්ට්
මෙහිදී සර්ගේ ස්ටෙපනොව් (Sergei Stepanov) භාවිත කළ ගණිතමය අදහසක් වැදගත් වෙනවා. ස්ටෙපනොව්ගේ ක්‍රමය මුලින් වර්ධනය වූයේ සීමිත ක්ෂේත්‍ර (Finite Fields) ආශ්රිත ගණිතයේදීයි.
සීමිත ක්ෂේත්රයක් (Finite Field) යනු නිශ්චිත, සීමිත අගයන් සමූහයක් මත එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ ශුන්‍ය නොවන අගයකින් බෙදීම යන ගණිතමය ක්‍රියා සිදු කළ හැකි පද්ධතියකි.
මෙවැනි පද්ධතිවල වක්‍ර මත ඇති ලක්ෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමට විශේෂ බහුපද (Polynomials) නිර්මාණය කළ හැකියි. බහුපදයක් යනු x² + 3x + 2 වැනි, විචල්‍යයක පූර්ණ සංඛ්‍යා බලයන් සහිත ගණිතමය ප්‍රකාශයක්.
ස්ටෙපනොව්ගේ ක්‍රමයේදී එවැනි බහුපදයක් යම් ලක්ෂ්‍යයකදී ශුන්‍ය වීම පමණක් නොව, එහි ව්‍යුත්පන්න කිහිපයක්ද එම ලක්ෂ්‍යයේදී ශුන්‍ය වන ආකාරයට ගොඩනඟනවා. මෙය ඉහළ ගුණිතත්වයකින් ශුන්‍ය වීම (High Multiplicity of Vanishing) ලෙස හැඳින්වෙනවා. එම ගුණය භාවිතයෙන් වක්‍රයක ඇති ලක්ෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ ප්‍රබල සීමාවන් ලබාගත හැකියි. එහෙත් මෙම ක්‍රමය සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා ලෝකයට සෘජුව ගෙන ඒම පහසු නැහැ.
ඇල්පොගේ–ක්ලෝඩ් ක්රමයේ වැදගත් අදහසක් ලෙස තීටා ලිෆ්ට් (Theta Lifts) නමින් හැඳින්වෙන ගණිතමය පරිවර්තන විස්තර කෙරෙනවා. තීටා ලිෆ්ට් යනු එක් ගණිතමය නිරූපණ පද්ධතියක ඇති තොරතුරු වෙනත් නිරූපණ පද්ධතියකට සම්බන්ධ කරන විශේෂ පරිවර්තන ක්‍රමයක්.
මෙහිදී ස්වයංක්‍රීය ආකෘති (Automorphic Forms), ජාලක (Lattices) සහ ඒවායේ ගණිතමය සම්බන්ධතා යොදාගන්නවා. ජාලකයක් යනු තලයක සමාන පරතරවලින් පිහිටා ඇති ලක්ෂ්‍ය සමූහයක් වැනි ව්‍යුහයක්. උසස් ගණිතයේදී මෙය බහුමාන අවකාශයන් දක්වා සාමාන්‍යකරණය වෙනවා.
ස්වයංක්‍රීය ආකෘති යනු ඇතැම් සමමිතික පරිවර්තන යටතේ විශේෂ නියමයන්ට අනුව හැසිරෙන ගණිතමය ශ්‍රිතයි. මේ සියල්ල සම්බන්ධ කරමින් සාමාන්‍ය සංඛ්‍යා ගණිතයේදී සෘජුව ලබාගත නොහැකි සීමාවන් වෙනත් ගණිතමය ව්‍යුහයක් හරහා ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා.
මෙහි තාක්ෂණික විස්තර ඉතා සංකීර්ණයි. සම්පූර්ණ තීටා ලිෆ්ට් ඉදිකිරීමේ ක්‍රමය සහ එහි සියලු අසමානතා මිනිසුන්ට කියවා තේරුම්ගත හැකි ආකාරයට විස්තර කිරීම තවමත් වර්ධනය වෙමින් පවතින කාර්යයක්.
එහෙත් අපේ විමර්ශනයට වැදගත් වන්නේ මෙයයි. මෙහිදී ගණිතඥයා ප්රශ්නය විසඳීමට අවශ්‍ය ගණිතමය ලෝකයම වෙනස් කරනවා. ඒ සඳහා අවශ්‍ය සංකල්පීය මඟපෙන්වීම, ගණිතමය ක්‍රම තෝරාගැනීම සහ විවිධ න්‍යායන් අතර සම්බන්ධතා හඳුනාගැනීමේදී මිනිස් බුද්ධිමය දායකත්වය අප අමතක නොකළ යුතුයි.
මන්ද යත්, මෙහි අප සඳහන් කළ ගණිතමය ක්‍රම එකවර පහළ වූ අදහස් නොවන නිසයි. ඒවා විවිධ යුගවල ගණිතඥයන් විසින් සිදුකරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයන්, අසාර්ථක උත්සාහයන්, නව සොයාගැනීම් සහ සංකල්පීය වර්ධනයන් ඔස්සේ පියවරෙන් පියවර ගොඩනැඟුණු දැනුම් සම්භාරයක කොටස්. එවැනි දැනුම් ක්ෂේත්‍ර ගණනාවක් අතර සම්බන්ධතා දැකීමත්, ඒවා නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා සුදුසු ආකාරයෙන් ඒකාබද්ධ කිරීමත් සාමාන්‍ය තොරතුරු එක්රැස් කිරීමකට සමාන කළ නොහැකියි.
ඇල්පොගේ වැනි ගණිතඥයෙකුගේ දායකත්වය අප ඇගයිය යුත්තේ මෙවැනි පසුබිමකයි. වසර ගණනාවක අධ්‍යයනයෙන්, පර්යේෂණයෙන් සහ ගණිතමය ගැටලු සමඟ නිරන්තරයෙන් පොරබැදීමෙන් ඔහු අත්කරගත් බුද්ධිමය පරිණතභාවය, සංකල්පීය අවබෝධය සහ විනිශ්චය කිරීමේ හැකියාව මෙහිදී නොසලකා හැරිය නොහැකියි. යන්ත්‍රය විසින් නිපදවන ගණිතමය ප්රතිඵලවල විශාලත්වය හමුවේ, එම ප්රයත්නයට පදනම් වන මිනිස් බුද්ධිමය ශ්‍රමය නොපෙනී යාමේ අවදානමක්ද තිබෙනවා.
එබැවින් මේ සිදුවීම AI පද්ධතියක හැකියාව පිළිබඳ කතාවක් පමණක් නොවෙයි. මිනිස් ගණිතමය චින්තනයේ දීර්ඝ ඉතිහාසයක්, එක් ගණිතඥයෙකුගේ ජීවිත කාලය පුරා ගොඩනැඟුණු දැනුමක් සහ නව තාක්ෂණික හැකියාවක් එකිනෙක හමුවන අවස්ථාවක් ලෙසද මෙය කියවිය යුතුයි.
05 තුන්වන පියවර: Lean 4 සහ පරිගණකය විසින් පරීක්ෂා කරන සාධනය
සාමාන්‍ය ගණිතමය සාධනයක් ලියන්නේ තවත් ගණිතඥයෙකුට එහි තර්කය කියවා, පියවරෙන් පියවර පරීක්ෂා කළ හැකි ආකාරයටයි. එහෙත් Lean 4 වැනි පද්ධතියක් භාවිත කිරීමේදී ගණිතමය ප්‍රකාශ සහ ඒවායේ සාධන පරිගණකයකට නිශ්චිතව පරීක්ෂා කළ හැකි විධිමත් භාෂාවකින් ලියනවා. මෙය විධිමත් සාධන සත්‍යාපනය (Formal Proof Verification) ලෙස හැඳින්වෙනවා. Lean පද්ධතියේ කර්නලය (Kernel) යනු එවැනි සාධනයක තාර්කික පියවර පිළිගත් නියමයන්ට අනුව නිවැරදිදැයි පරීක්ෂා කරන මූලික කොටසයි.
සාමාන්‍ය භාෂාවෙන් ලියන ලද ගණිතමය පත්රිකාවකදී ලේඛකයා ඇතැම් අතරමැදි පියවර පාඨකයාට පැහැදිලි යැයි උපකල්පනය කළ හැකියි. එහෙත් විධිමත් සාධනයකදී එම පියවරද අවශ්‍ය තරමට නිශ්චිතව නිරූපණය කළ යුතුයි.
ඇල්පොගේ–ක්ලෝඩ් සාධනයේ විශාලත්වය මෙහිදී වැදගත් වෙනවා. එහි තර්ක පද්ධතිය පරිගණකයකට පරීක්ෂා කළ හැකි වුවත්, එය මිනිසෙකුට සාමාන්‍ය පර්යේෂණ පත්‍රිකාවක් මෙන් කියවා අවබෝධ කරගැනීම පහසු නැහැ. මෙහිදී අපට නව ප්‍රශ්නයක් මතු වෙනවා. ගණිතමය ප්‍රකාශයක වලංගුභාවය පරීක්ෂා කළ හැකි වීමත්, එම ප්‍රකාශය සත්‍ය වන්නේ ඇයිදැයි අවබෝධ කරගැනීමත් එකම දෙයක්ද? මෙම ප්‍රශ්නයෙන් අපි ලකාන් වෙත පැමිණෙමු.
06 ලකාන්ගේ කතිකාවන් හතර: දැනුම නිෂ්පාදනය වන්නේ කෙසේද?
ප්‍රංශ මනෝවිශ්ලේෂක ජාක් ලකාන් 1969–1970 කාලයේ පැවැත්වූ සිය දහහත්වැනි සම්මන්ත්රණ මාලාවේදී කතිකාවන් හතරක් (Four Discourses) පිළිබඳ න්‍යායක් ඉදිරිපත් කළා.
මෙහි කතිකාව (Discourse) යන්නෙන් අදහස් කරන්නේ සාමාන්‍ය සංවාදයක් හෝ කතාවක් පමණක් නොවෙයි. එය මිනිසුන් අතර දැනුම, බලය, අධිකාරිය සහ ආශාව සංවිධානය වන සම්බන්ධතා ව්‍යුහයක්.
ලකාන්ගේ කතිකාවන් හතර නම් ස්වාමියාගේ කතිකාව (Master’s Discourse), විශ්වවිද්‍යාලයේ කතිකාව (University Discourse), හිස්ටීරිකයාගේ කතිකාව (Hysteric’s Discourse) සහ විශ්ලේෂකයාගේ කතිකාව (Analyst’s Discourse) යන ඒවායි.
මෙහි හිස්ටීරිකයා යන්න සාමාන්‍ය භාෂාවේ භාවිත වන මානසික අස්ථාවරත්වයක් පිළිබඳ නින්දාත්මක හැඳින්වීමක් නොවෙයි. ලකාන්ගේ න්‍යාය තුළ එය අධිකාරියෙන් පිළිතුරු ඉල්ලා සිටින, එහෙත් ලැබෙන පිළිතුරුවලින් සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන subject කෙනෙකුගේ ව්‍යුහාත්මක ස්ථානයක්.
මෙම කතිකාවන් හතර පැහැදිලි කිරීමට ලකාන් සංකේත හතරක් භාවිත කරනවා. S₁ යනු ප්‍රධාන සංකේතකය (Master Signifier). එනම් වෙනත් සංකේතකයන් සංවිධානය කරන, අධිකාරියක් හෝ අර්ථයක් ස්ථාපිත කරන සංකේතකයක්.
S₂ යනු දැනුම (Knowledge). භාෂාව, න්‍යාය, නියම සහ සංකල්ප තුළ සංවිධානය වී ඇති දැනුම මෙයින් නිරූපණය වෙනවා.
$ යනු බෙදුණු subject (Divided Subject). මිනිසා තමා ගැන සම්පූර්ණ දැනුමක් ඇති, තමාටම සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන ඒකකයක් නොවන බව මෙයින් අදහස් වෙනවා.
a හෙවත් object petit a යනු ආශාවට හේතුකාරක වන වස්තුව (Object-cause of Desire). එය සරලවම අපට අවශ්‍ය භෞතික වස්තුවක් නොව, අපේ ආශාව දිගින් දිගටම ක්‍රියාත්මක වීමට හේතු වන අඩුවක් හෝ ඉතිරියක් සමඟ සම්බන්ධ සංකල්පයක්.
මෙහි ආශාව (Desire) යන්නත් පැහැදිලි කරගත යුතුයි. ලකාන්ගේ අදහස අනුව ආශාව යනු කුසගින්නක් නිවාගැනීම හෝ යම් කාර්යයක් සම්පූර්ණ කිරීම වැනි සරල අවශ්‍යතාවකට සමාන දෙයක් නොවෙයි. අපට යමක් ලැබුණු පසුවත් තවත් යමක් සොයන්නට අප පෙළඹෙන්නේ ඇයිද යන්න වටහා ගැනීමට ආශාව පිළිබඳ මෙම සංකල්පය වැදගත් වෙනවා.
මේ සංකල්ප භාවිතයෙන් අපට ඇල්පොගේ සහ Claude අතර ඇතිවූ ගණිතමය අන්තර්ක්‍රියාව වෙනස් ආකාරයකින් කියවිය හැකියි.
මිනිසා සමීකරණයකට ලඝු කළ හැකිද? ලකාන්ගේ කතිකාවන් හතර පිළිබඳ සාකච්ඡාවට පිවිසීමට පෙර, ඔහුගේ Seminar XVII — The Other Side of Psychoanalysis හි හමුවන කෙටි සංවාදයක් මෙහි සිහිපත් කිරීම සුදුසු යැයි මට සිතෙනවා.
ලකාන් කළුලෑල්ල මත සංකේතීය සම්බන්ධතා ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවක, සාකච්ඡාවට සහභාගි වන අයෙක් මෙසේ විරෝධය පළ කරනවා.
“A man can’t be reduced to an equation.”
“මිනිසෙකු සමීකරණයකට ලඝු කළ නොහැකියි.”
මෙය ලකාන්ගේ ප්‍රකාශයක් නොව, ඔහුට විරෝධය දක්වන සහභාගිකයාගේ ප්‍රකාශයක්. ලකාන් එයට පිළිතුරු දෙන්නේ සංකේතකයන්ගේ සම්බන්ධතාවලින් ගොඩනැඟෙන දාමයක් පිළිබඳවයි. එය මිනිසෙකුගේ සම්පූර්ණ පැවැත්ම ගණිතමය සූත්‍රයකට සීමා කිරීමක් ලෙස නොව, ඔහු සම්බන්ධ වන කතිකාමය ව්‍යුහය නිරූපණය කිරීමක් ලෙස අපට කියවිය හැකියි.
මෙහිදී අප ඉදිරියේ ඇත්තේ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකකින් පැමිණි සංකේතීය ප්‍රකාශන දෙකක්.
ලකාන්ගේ ස්වාමියාගේ කතිකාව (Master’s Discourse)
S1$⟶S2aagent / truth ⟶ other / production
රීමාන් උපකල්පනය (Riemann Hypothesis)
මේ ප්‍රකාශන දෙකම සංකේත භාවිත කරන නමුත්, ඒවායේ කාර්යය එක සමාන නැහැ. රීමාන් උපකල්පනය ගණිතමය සත්‍යයක් පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක්. එය සාධනය කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ගණිතමය තර්ක අවශ්‍යයි. ලකාන්ගේ කතිකා සූත්‍රය මිනිස් සම්බන්ධතා, දැනුම, අධිකාරිය සහ ආශාව සංවිධානය වන ආකාරය නිරූපණය කරන න්‍යායික ව්‍යුහයක්. එබැවින් මේ දෙක එකම ආකාරයේ ගණිතමය සාධන ලෙස සැලකිය නොහැකියි.
එහෙත් ඒවා එකිනෙකට සමීපව තබා බැලීමෙන් මට තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ගණිතමය සංකේත මඟින් අප සංඛ්‍යා අතර ඇතැම් සම්බන්ධතා ඉතා නිශ්චිතව ප්‍රකාශ කරන අතර, ලකාන්ගේ සංකේත මඟින් මිනිසා දැනුම හා අධිකාරිය සමඟ පවත්වන සම්බන්ධතා විමසා බලනවා.
එසේ නම්, රීමාන් උපකල්පනය වැනි ගණිතමය ගැටලුවක් විසඳීමට යන්ත්‍රයක් මැදිහත් වන විට, එම ගැටලුව ප්‍රශ්න කරන, එයට පිළිතුරක් අපේක්ෂා කරන සහ එම පිළිතුරේ අර්ථය සොයන මිනිසාගේ ස්ථානය කුමක් වේද?
ලකාන්ගේ කතිකාවන් හතර ඔස්සේ අප විමසා බැලීමට යන්නේ මේ ප්රශ්නයයි.
07 හිස්ටීරිකයාගේ කතිකාව: විද්‍යාඥයාගේ ප්රශ්නය
ලකාන් හිස්ටීරිකයාගේ (Discourse of the hysteric) කතිකාව මෙසේ නිරූපණය කරනවා.
මෙහි බෙදුණු subject අධිකාරිය වෙත ප්‍රශ්නයක් යොමු කරනවා. එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස දැනුම නිෂ්පාදනය වෙනවා. විද්‍යාඥයෙකුගේ චින්තනයට මෙය සම්බන්ධ කර බැලීම සිත්ගන්නාසුලුයි.
විද්‍යාඥයා යනු දැනට පවතින දැනුම භාවිත කරන පුද්ගලයෙකු පමණක් නොවෙයි. ඔහු එම දැනුමේ සීමාවන් හඳුනාගෙන, ඒවා ප්‍රශ්න කරන පුද්ගලයෙකුද වෙනවා.
රීමාන් කල්පිතය පිළිබඳ සියවස් එකහමාරකට වැඩි කාලයක් පුරා ගණිතඥයන් කළ උත්සාහයන් තුළ මෙවැනි තත්ත්වයක් හඳුනාගත හැකියි. පවතින ගණිතමය න්‍යායන් විශාල ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එහෙත් ඒ සියල්ල තිබියදීත් රීමාන් උපකල්පනය සාධනය කිරීමේ ගැටලුව ඉතිරි වී තිබුණා.
එවිට ගණිතඥයා දැනට පවතින ගණිතමය දැනුම වෙත යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්නයක්: ඔබ සතුව මෙතරම් දැනුමක් තිබියදීත්, මෙම ප්‍රකාශය සාධනය කිරීමට නොහැකි වන්නේ ඇයි?
මෙහිදී විද්‍යාඥයාගේ නොදැනීම හුදෙක් දුර්වලතාවක් නොවෙයි. එය නව දැනුම නිෂ්පාදනය කිරීමට හේතු වන තත්ත්වයක් බවට පත්වෙනවා.
ඇල්පොගේ විසින් Claude භාවිත කළ ආකාරය මෙම කතිකාව තුළින් කියවිය හැකි බව මට සිතෙනවා. ඔහු AI පද්ධතියෙන් දැනටමත් දන්නා ගණිතමය සූත්‍රයක් ඉල්ලා සිටීමෙන් පමණක් සීමා වූයේ නැහැ. ඔහුගේ අරමුණ වූයේ විසඳී නොතිබූ ගැටලුවක් සඳහා සාධනයක් නිර්මාණය කිරීමයි.
එහෙත් මෙහිදී අප සැලකිලිමත් විය යුතුයි. ඇල්පොගේගේ පුද්ගලික මානසික තත්ත්වය හෝ ඔහුගේ අවිඥානික ආශාවන් අපට මෙම සිදුවීමෙන් නිශ්චය කළ නොහැකියි. අප කරන්නේ ඔහුගේ පර්යේෂණ ක්‍රියාවලිය ලකාන්ගේ කතිකාවක් තුළින් අර්ථකථනය කිරීම පමණයි.
එහිදී මතුවන වැදගත් අදහස වන්නේ, විද්‍යාත්මක සොයාගැනීමක ආරම්භය බොහෝ විට දැනුම සතුව තිබීම නොව, එහි ඇති අඩුවක් හඳුනාගැනීම විය හැකි බවයි.
08 විශ්වවිද්‍යාලයේ කතිකාව: Claude සහ දැනුම නිෂ්පාදනය කරන යන්ත්‍රය
විශ්වවිද්‍යාලයේ කතිකාව (Discourse of the university) ලකාන් මෙසේ නිරූපණය කරනවා.
මෙහිදී දැනුම ක්‍රියාකාරී ස්ථානයට පැමිණෙනවා. විශ්වවිද්‍යාලයකදී හෝ පර්යේෂණ ආයතනයකදී අපට මෙවැනි තත්ත්වයක් හඳුනාගත හැකියි. පවතින න්‍යායන්, විධිමත් ක්‍රම, ගණිතමය සූත්‍ර සහ පර්යේෂණ ප්රමිතීන් භාවිතයෙන් නව දැනුම නිෂ්පාදනය කරනවා.
Claude වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතියක් මෙම සම්බන්ධතාව තුළ විශේෂ ස්ථානයක් ගන්නවා. එයට විශාල ගණිතමය සාහිත්‍යයක් හා සම්බන්ධ සංකල්ප රටා භාවිත කළ හැකියි. විවිධ ගණිතමය ක්‍රම එකිනෙක සමඟ සම්බන්ධ කරමින් නව ප්‍රකාශ සහ සාධන උත්සාහයන් ගොඩනැඟිය හැකියි.
එහෙත් මෙය Claude යනු විශ්වවිද්‍යාලයේ කතිකාවම බව කීමක් නොවෙයි. ලකාන්ගේ කතිකාවන් පුද්ගලයන්ට හෝ යන්ත්‍රවලට ස්ථිරව අලවන නාමයන් නොවෙයි. ඒවා සම්බන්ධතා ව්‍යුහයන්.
ඇල්පොගේ සහ Claude අතර ඇතිවූ අන්තර්ක්‍රියාවේ ඇතැම් අවස්ථාවලදී දැනුම ක්‍රියාකාරී ස්ථානයට පැමිණ, තවත් දැනුම නිෂ්පාදනය කරන ආකාරයක් අපට හඳුනාගත හැකියි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එම නිෂ්පාදනයේ පරිමාණයයි. මිනිසෙකුට සාමාන්‍ය ජීවිත කාලයක් තුළ ලිවීමට හෝ පරීක්ෂා කිරීමට අපහසු තරම් විශාල ගණිතමය තර්ක පද්ධතියක් පරිගණක පද්ධති හරහා නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා.
එවිට දැනුම නිෂ්පාදනය කිරීම සහ එම දැනුම මිනිසෙකු විසින් අවබෝධ කරගැනීම අතර පරතරයක් ඇති විය හැකියි. අප මෙතෙක් දැනුම යනුවෙන් හැඳින්වූයේ බොහෝ විට මිනිසෙකුට පැහැදිලි කළ හැකි, තවත් මිනිසෙකුට තේරුම්ගත හැකි, පරීක්ෂා කළ හැකි යමක්.
එහෙත් දැන් යම් ගණිතමය ප්‍රකාශයක් පරිගණකයකට විධිමත් ලෙස තහවුරු කළ හැකි වුවත්, එහි සම්පූර්ණ තර්කය මිනිසෙකුට පහසුවෙන් අවබෝධ කරගත නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. එවැනි තත්ත්වයකදී දැනුම සහ අවබෝධය අතර සම්බන්ධතාව නැවත විමසා බැලීමට සිදුවෙනවා.
එසේ නම්, දැනුම යනු අවසාන වශයෙන් වචන සහ සංකේත එකිනෙක සම්බන්ධ කරමින් ගොඩනඟන ව්‍යුහයක් පමණක්ද? එය නිපදවන්නේ යන්ත්රයකින්ද, නැතිනම් මිනිස් මනසකින්ද යන්න එහි දැනුමක් ලෙස පවතින ස්වභාවයට බලපානවාද? භාෂාවක් ඔස්සේ දැනුම නිෂ්පාදනය වීමට එම භාෂාව ක්‍රියාත්මක කරන යම් භෞතික පද්ධතියක් අවශ්‍යද? එසේ නම්, ඒ පද්ධතිය ජීව විද්‍යාත්මක විය යුතුද, නැතිනම් විද්‍යුත් පරිපථවලින් ගොඩනැඟුණු යන්ත්‍රයක් වුවද ප්‍රමාණවත්ද?
අවසාන විග්රහයේදී මිනිස් මොළයත් විද්‍යුත් හා රසායනික සංඥා මඟින් ක්‍රියාත්මක වන අතිශය සංකීර්ණ ජීව විද්‍යාත්මක පද්ධතියක් නොවේද? එසේ නම්, දැනුම නිෂ්පාදනය කරන පද්ධතියේ භෞතික ස්වභාවය සහ එම පද්ධතිය නිපදවන දැනුමේ ස්වභාවය අතර අප ඇඳ ඇති සීමාව කොතැනද? දැන් ඇතැමෙකුට කාටිසියානු ආත්මය පිළිබඳ අලුත්ම Seven Year Itch එකක් ඇතිවන්නටත් බැරි නැහැ!
09 ස්වාමියාගේ කතිකාව: ගණිතමය සත්‍යයට අධිකාරිය ලබාදෙන්නේ කවුද?
ලකාන්ගේ ස්වාමියාගේ කතිකාව (Discourse of the master) මෙසේ දැක්වෙනවා.
මෙහිදී ප්‍රධාන සංකේතකය අධිකාරියේ ස්ථානයේ සිට දැනුම සංවිධානය කරනවා. සාමාන්‍ය සමාජ ජීවිතයේදී මෙය දේශපාලන බලය, ආයතනික අධිකාරිය හෝ සමාජ නියමයන් තුළ හඳුනාගත හැකියි.
නමුත් ගණිතය තුළ අධිකාරිය යන්න වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ගණිතමය ප්‍රකාශයක් සත්‍ය වන්නේ ප්‍රසිද්ධ ගණිතඥයෙකු එය ප්‍රකාශ කළ නිසා නොවෙයි. එය සත්‍ය වන්නේ පිළිගත් ගණිතමය මූලධර්ම සහ තර්ක නියමයන් මත එය සාධනය කළ හැකි නම් පමණයි.
මෙහිදී Lean 4 පද්ධතියේ භූමිකාව වැදගත් වෙනවා. එය සාධනයේ විධිමත් තර්ක පියවර පරීක්ෂා කරනවා. එහෙත් Lean විසින් තර්කයක් පිළිගැනීම සහ ගණිත ප්‍රජාව විසින් එම තර්කයේ සම්පූර්ණ අර්ථය අවබෝධ කරගැනීම එකම ක්‍රියාවලියක් නොවෙයි.
Lean පද්ධතිය අධිකාරියක් ලෙස සැලකීමත් මෙහිදී ප්‍රවේශමෙන් කළ යුතුයි. එය මිනිසුන්ට නියෝග දෙන ස්වාමියෙකු නොවෙයි. එය නිශ්චිත තර්ක නියමයන්ට අනුව ක්‍රියාත්මක වන පරිගණක පද්ධතියක්.
නමුත් එහි ප්‍රතිඵල ගණිත ප්‍රජාව තුළ පිළිගැනීමේදී නව ආයතනික සම්බන්ධතාවක් ඇතිවිය හැකියි. මෙතෙක් ගණිතමය සාධනයක විශ්වසනීයත්වය බොහෝ දුරට තවත් ගණිතඥයන් විසින් එය කියවා පරීක්ෂා කිරීම මත රඳා පැවතුණා. දැන් එම ක්‍රියාවලියේ කොටසක් පරිගණක කර්නලයකට පැවරිය හැකියි.
එවිට අප අසන ප්රශ්නය වෙනස් වෙනවා. සාධනයක් නිවැරදි බව දැනගැනීමට අපට එය සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීම අවශ්‍යද? නැතිනම් එහි තාර්කික වලංගුභාවය විශ්වාසනීය පරිගණක පද්ධතියක් විසින් තහවුරු කිරීම ප්‍රමාණවත්ද?
මෙහිදී ස්වාමියාගේ කතිකාව අපට උපකාරී වන්නේ, සත්‍යය සහ අධිකාරිය එකිනෙකට සම්බන්ධ වන සමාජ ව්‍යුහය විමසා බැලීමටයි.
10 විශ්ලේෂකයාගේ කතිකාව: සාධනය ලැබුණත් ඉතිරිවන ප්රශ්නය
විශ්ලේෂකයාගේ කතිකාව (Discourse of the analyst) ලකාන් මෙසේ නිරූපණය කරනවා.
මනෝවිශ්ලේෂණයේදී විශ්ලේෂකයාගේ කාර්යය වන්නේ රෝගියාට සූදානම් පිළිතුරු ලබාදීම පමණක් නොවෙයි. ඔහුගේ කථනය, ආශාව සහ අවිඥානික සම්බන්ධතා තුළ ඔහුටම නොපෙනෙන යමක් මතුවීමට අවකාශ සැලසීම එහි වැදගත් අංගයක්.
මෙම කතිකාව ගණිතමය පර්යේෂණයකට සෘජුව සමාන කළ නොහැකියි. එහෙත් එය උපමාවක් ලෙස භාවිත කිරීමෙන් අපට වැදගත් ප්‍රශ්නයක් මතු කළ හැකියි.
ඇල්පොගේ සහ Claude ඉදිරිපත් කළ සාධනය විධිමත් ලෙස නිවැරදි බව තහවුරු වූවා යැයි සිතමු. එවිට රීමාන් උපකල්පනය පිළිබඳ මුල් ගණිතමය ප්‍රශ්නයට පිළිතුරක් ලැබී තිබෙනවා. නමුත් එයින් සියලු ප්‍රශ්න අවසන් වෙනවාද?
මෙම අතිවිශාල ගණිතමය ඉදිකිරීම ක්‍රියාත්මක වන්නේ ඇයි? එහි ඇති ගැඹුරු ගණිතමය සම්බන්ධතාව කුමක්ද? එය වඩාත් සරල සාධනයක් බවට පත් කළ හැකිද? එම ක්‍රමය වෙනත් ගණිතමය ගැටලු සඳහා භාවිත කළ හැකිද?
මේවා සාධනයේ විධිමත් වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නවලට වඩා වෙනස් ප්‍රශ්නයි. මෙහිදී මට සිතෙන්නේ දැනුම නිෂ්පාදනය වීම සහ දැනුම පිළිබඳ මිනිස් ආශාව සම්පූර්ණ වීම එකම දෙයක් නොවන බවයි.
සාධනයක් ලැබීමෙන් එක් නොදැනීමක් අවසන් විය හැකියි. නමුත් එම සාධනය තුළින් තවත් නොදැනීම් ගණනාවක් මතුවිය හැකියි. ලකාන්ගේ ආශාව පිළිබඳ සංකල්පය මෙහිදී සිත්ගන්නාසුලු වෙනවා. ආශාව යනු යම් වස්තුවක් ලබාගත් පසු සම්පූර්ණයෙන් අවසන් වන දෙයක් නොවෙයි.
එම නිසා ගණිතඥයාගේ අරමුණ වූ සාධනය ලැබුණත්, එය අවබෝධ කරගැනීමේ අවශ්‍යතාව දිගටම පැවතිය හැකියි. එහෙත් මෙය ගණිතඥයාගේ අවිඥානය පිළිබඳ නිගමනයක් නොවෙයි. එය දැනුම සහ ආශාව අතර සම්බන්ධතාව විමසා බැලීමට ලකාන්ගේ න්‍යාය අපට ලබාදෙන දාර්ශනික අවස්ථාවක්.
ඇත්තටම ඇල්පොගේ තෘප්තියට පත්වන්නේ තමන් රීමාන් උපකල්පනය සාධනය කළ බව මහා අනෙකා (the Big Other) විසින් පිළිගනු ලැබීමෙන් පසුවද? එසේත් නැතිනම්, එම සාධනය පිළිබඳ තවමත් ඉතිරිව ඇති සැකය, අවිනිශ්චිතභාවය සහ නොනිමෙන ගණිතමය සෙවීම තුළින්ම ඔහු කිසියම් පරස්පර විරෝධී තෘප්තියක් අත්විඳිනවාද? ලකාන්ගේ jouissance සංකල්පය මෙහිදී අපට සිහිපත් වන්නේ එවැනි හැකියාවක් පිළිබඳ ප්‍රශ්න කිරීමටයි.
එසේ නම්, මතු යම් දිනෙක ඔහුටත් ලකානියානු සායනයක දොරට තට්ටු කරන්නට සිදුවේවිද? නැතිනම්, එක් ගණිතමය ප්‍රහේලිකාවක විසඳුමෙන් නොසන්සිඳෙන ඔහුගේ ආශාව, තවත් නොවිසඳුණු ප්‍රශ්නයක් කරා ඔහු රැගෙන යාවිද? රීමාන් උපකල්පනයෙන් පසුව ඔහු හඹා යන්නේ කුමක්ද? සමහර විට මෙහි සැබෑ ප්රශ්නය ඔහු ඊළඟට විසඳන්නේ කුමන ගණිතමය ගැටලුවද යන්න නොව, විසඳුමක් ලැබීමෙන් පසුවත් සෙවීම නතර නොවන්නේ ඇයිද යන්න විය හැකියි.
11 කෘත්‍රිම බුද්ධියට අරමුණක් තිබීම සහ ආශාවක් තිබීම එකම දෙයක්ද?
මෙතෙක් කළ විමර්ශනය තුළ තවත් වැදගත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඇල්පොගේට අරමුණක් තිබුණා. එනම් රීමාන් උපකල්පනය සාධනය කිරීමයි. Claude පද්ධතිය එම අරමුණ වෙත යොමු කරනු ලැබුවා.
එය ගණිතමය යෝජනා නිර්මාණය කරමින්, තර්ක පද්ධති ගොඩනඟමින්, අවශ්‍ය ගණිතමය කාර්යයන් ඉටු කිරීමට දායක වුණා. එහෙත් Claude විසින් අරමුණක් ඉටු කිරීමට ක්‍රියා කිරීම, ලකාන්ගේ අර්ථයෙන් එයට ආශාවක් තිබෙන බව පෙන්වන්නේ නැහැ.
මෙහිදී අප අරමුණ (Objective) සහ ආශාව (Desire) අතර වෙනස පැහැදිලි කරගත යුතුයි. අරමුණක් යනු යම් ක්‍රියාවලියක් හරහා ලබාගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයක්. ආශාව යනු ලකාන්ගේ න්‍යාය තුළ මිනිස් subject කෙනෙකුගේ අඩුව, භාෂාව සහ අවිඥානික ව්‍යුහය සමඟ සම්බන්ධ සංකල්පයක්.
ගණිතඥයෙකුට රීමාන් උපකල්පනය සාධනය කිරීමේ අරමුණක් තිබිය හැකියි. එහෙත් එම අරමුණ ඔහුගේ බුද්ධිමය ජීවිතයේ, සමාජ සම්බන්ධතාවල සහ තමන් පිළිබඳ අවබෝධයේ කොටසක්ද වෙනවා.
කෘත්‍රිම බුද්ධියකට එවැනි subjective අත්දැකීමක් තිබේද යන්න තවමත් විවාදාත්මක දාර්ශනික සහ විද්‍යාත්මක ප්‍රශ්නයක්. එය සම්පූර්ණයෙන් නොමැති බව හෝ තිබෙන බව මෙවැනි ගණිතමය සාධනයකින් පමණක් තීරණය කළ නොහැකියි.
මෙහිදී අපට තවත් වෙනසක් හඳුනාගත හැකියි. ගණිතමය සාධනයක් නිෂ්පාදනය කිරීමට හැකි වීම සහ එම සාධනයේ අර්ථය subject කෙනෙකු ලෙස අත්විඳීම එකම ප්‍රකාශයක් නොවෙයි. මෙම වෙනස අපේ ලිපියේ වැදගත්ම දාර්ශනික ප්‍රශ්න අතරින් එකක් බව මට සිතෙනවා.
ඇත්තටම මට සිතෙන්නේ, ඇල්පොගේගේ අදහස කුමක් වුවත්, ඔහු ක්ලෝඩ් සමඟ කළ ගණිතමය ගනුදෙනුවල අවසානයේ තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබී ඇති බව ඔහුට පසක් වුවත්, එය සෙසු ලෝකයටත් ඒ අයුරින්ම පසක් කරවීම ඊට හාත්පසින්ම වෙනස්, බැරෑරුම් කාර්යයක් බවයි.
එහිදී අප මුහුණ දෙන්නේ සාධනයක නිවැරදිභාවය පිළිබඳ ප්‍රශ්නයකට පමණක් නොවෙයි. අප විසින්ම නිර්මාණය කළ යන්ත්‍රයක් ගොඩනඟන තර්කයක්, එය නිර්මාණය කළ මිනිසාගේම අවබෝධයේ සීමාව ඉක්මවා යා හැකිද යන ප්‍රශ්නයටත් මුහුණ දීමට සිදුවෙනවා.
එවැනි තත්ත්වයක් සැබවින්ම උදා වුවහොත්, අප සියල්ලන්ටම අවසානයේ මිනිස් බුද්ධියේ සීමාව ඉදිරියේ දණින් වැටීමට සිදුවනු ඇතැයි මට හැඟෙනවා. එහෙත් එය යන්ත්‍රය ඉදිරියේ දණින් වැටීමක් නොවෙයි. අප මෙතෙක් අපගේම බුද්ධිය පිළිබඳ ගොඩනඟාගෙන සිටි විශ්වාසයන්හි සීමාව හමුවේ දණින් වැටීමක් විය හැකියි.
12 විද්‍යාඥයන් AI භාවිත කරන ආකාරය: OpenAI පර්යේෂණය
මෙම සාකච්ඡාව ඇල්පොගේ සහ Claude පිළිබඳ සුවිශේෂී සිදුවීමකට පමණක් සීමා නොකළ යුතුයි. 2026 නොවැම්බර් 16 වැනිදා OpenAI ආයතනය Science at the Frontier: How Scientists Use ChatGPT නමින් පර්යේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කළා.
එහිදී විද්‍යාඥයන් 1,819 දෙනෙකුගේ විද්‍යාත්මක කාර්යයන්ට අදාළ ChatGPT පණිවිඩ 580,186ක් වර්ගීකරණය කර විශ්ලේෂණය කර තිබුණා. එම පර්යේෂණයේදී විද්‍යාඥයන්ගෙන් 68%ක් පර්යේෂණ අදහස් වර්ධනය කිරීමට ChatGPT භාවිත කළ බව වාර්තා වුණා.
අදහස් වර්ධනය කිරීමේ අන්තර්ක්‍රියා අතරින් 35%කදී විද්‍යාඥයන් තමන්ගේම ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබුණා. 36%කදී ඔවුන් තමන්ගේ අදහසක් තවදුරටත් වර්ධනය කිරීමට ChatGPT භාවිත කර තිබුණා. 23%කදී ChatGPT වෙතින් නව පර්යේෂණ ප්‍රශ්න යෝජනා කරන ලෙස ඉල්ලා තිබුණා.
මෙම සංඛ්‍යා ඉතා වැදගත් වුවත්, ඒවා AI විසින් ස්වාධීනව විද්‍යාත්මක සොයාගැනීම් කළ ප්‍රමාණයක් ලෙස සැලකිය නොහැකියි. ඒවා විද්‍යාඥයන් AI භාවිත කළ ආකාරය පිළිබඳ දත්තයි.
එමෙන්ම සමීක්ෂණයට පිළිතුරු දුන් විද්‍යාඥයන්ගෙන් 98%ක් AI මඟින් තම ක්ෂේත්රයේ සොයාගැනීම් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කළා. නමුත් අපේක්ෂාවක් සහ සත්‍ය වශයෙන් සිදුවූ ප්‍රගතියක් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. මෙම පර්යේෂණය AI නිසා විද්‍යාත්මක සොයාගැනීම් නිශ්චිත ප්‍රමාණයකින් වේගවත් වූ බව සනාථ කරන්නේ නැහැ.
එහෙත් මේ ශුභවාදී අපේක්ෂාවට සමාන්තරව තවත් ගැටලුවක් මතුවෙමින් තිබෙනවා. AI ආධාරයෙන් විශාල වශයෙන් නිපදවන පර්යේෂණ පත්‍රිකා, ඒවායේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු නිසා විද්‍යාත්මක ප්‍රකාශන ක්ෂේත්රයට අලුත් අභියෝග එල්ල වී ඇති බවටත් වාර්තා පළ වෙනවා. එවැනි පත්‍රිකා පරීක්ෂා කිරීම, දෝෂ සහ ව්‍යාජ තොරතුරු හඳුනාගැනීම මෙන්ම ඒවා නිවැරදි කිරීම හෝ ඉවත් කිරීම සඳහාද සැලකිය යුතු වෙහෙසක් දැරීමට සිදුවෙනවා.
මේ අතර, පර්යේෂණ පත්‍රිකා නිෂ්පාදනය කරන කම්හල් යන අර්ථයෙන් Paper Mills යන යෙදුමද විද්‍යාත්මක ප්‍රකාශන ක්ෂේත්රයේ භාවිත වෙනවා. එහෙත් එවැනි ව්‍යාජ පර්යේෂණ පත්‍රිකා නිෂ්පාදනය AI පැමිණීමත් සමඟ පමණක් ආරම්භ වූවක් නොවෙයි. AI මඟින් එම ක්‍රියාවලියේ පරිමාණය සහ වේගය තවත් වැඩි විය හැකි බවට දැන් අවධානය යොමු වී තිබෙනවා. ඇතැමුන් මෙය විද්‍යාත්මක ප්‍රකාශන ක්ෂේත්රයට බලපාන වසංගතයක් ලෙස පවා විස්තර කරන්නේ ඒ නිසයි.
එහෙත් එය විද්‍යාඥයා සහ දැනුම අතර සම්බන්ධතාව වෙනස් වෙමින් පවතින බව විමසා බැලීමට වැදගත් පසුබිමක් ලබා දෙනවා. ඇල්පොගේ–ක්ලෝඩ් සිදුවීම මෙම පුළුල් පසුබිම තුළ විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
එහිදී AI භාවිතය දැනට පවතින දැනුම සාරාංශ කිරීම හෝ ගණනය කිරීම් වේගවත් කිරීමෙන් ඔබ්බට ගොස්, විශාල ගණිතමය සාධනයක් ගොඩනැඟීම දක්වා විහිදී තිබෙනවා.
මෙම අවස්ථා දෙක එකට සලකා බැලූ විට අපට ප්‍රශ්න තුනක් මතුවෙනවා. විද්‍යාඥයන් AI භාවිත කරන්නේ කෙසේද? AI සමඟ එක්ව නිර්මාණය කරන දැනුම විද්‍යාඥයාගේ චින්තනය වෙනස් කරන්නේ කෙසේද? එම වෙනස්වීම තුළ විද්‍යාඥයාගේ ආශාව, දැනුම සහ අධිකාරිය අතර සම්බන්ධතාව කුමන ආකාරයකින් නැවත සංවිධානය වෙනවාද?
මෙම තුන්වන ප්රශ්නය ලකාන්ගේ කතිකාවන් හතර සමඟ සම්බන්ධ වෙනවා.
13 විද්‍යාත්මක දැනුමේ සීමාව සහ ලකාන්ගේ යථ (The Real)
ලකාන්ගේ න්‍යාය තුළ සංකේතීයය (The Symbolic) සහ යථ (The Real) අතර වෙනසක් තිබෙනවා. සංකේතීයය යනු භාෂාව, නීති, සංකේතකයන් සහ සමාජ සම්බන්ධතා තුළින් අර්ථය සංවිධානය වන පරිමණ්ඩලයයි.
හරියටම කීවොත්, බොහෝ දෙනෙකුට රීමාන් කල්පිතය ගණිතමය සමීකරණයකින් පෙන්වූ පමණින් එහි අර්ථය පිළිබඳ කිසිදු වැටහීමක් ඇති නොවන්නට පුළුවන්. නමුත් එය සාමාන්‍ය වචනවලට පෙරළා පැහැදිලි කළ විට, “ආහා, ඒකද ඒ!” කියා ප්‍රතිචාර දක්වන්නටත් පුළුවන්.
මෙහිදී සිදුවන්නේ සංකේතීයයෙන් පිටතට යාමක් නොවෙයි. ගණිතමය සංකේතවලින් ගොඩනැඟුණු ප්‍රකාශයක්, පාඨකයාට වඩාත් හුරුපුරුදු භාෂාමය ප්‍රකාශයකට පරිවර්තනය වීමයි. එසේ නම්, අර්ථය අපට ග්‍රහණය වන ආකාරය කෙරෙහි භාෂාව සහ සංකේතීය ව්‍යුහයන් කොතරම් ප්‍රබල බලපෑමක් ඇති කරනවාද යන්න මෙයින් පැහැදිලි වෙනවා නොවේද?
AI විසින් මිනිසාගේ ගණිතමය සහ සංකේතීය හැකියාවන්හි සීමා ඉක්මවා යාමට උපකාර කළ හැකි වුවත්, එයින් ලකාන්ගේ යථ (The Real) සංකේතීය ලෝකයට හසුකරගෙන හීලෑ කළ බවක් අදහස් වන්නේ නැහැ. සංකේතීය ව්‍යුහයන් සමඟ ක්‍රියා කිරීමේ හැකියාව පුළුල් වීම සහ සංකේතීයකරණයටම ප්‍රතිරෝධය දක්වන දෙය ජයගැනීම එකම දෙයක් නොවෙයි.
ලකාන්ගේ යථ යනු අප තවමත් නොදන්නා භෞතික ලෝකය නොව, සංකේතීයකරණයටම ප්‍රතිරෝධය දක්වන දෙයයි.
ලංකාවේ සිංහල කතා කරන ඇතැමෙකුට මේ Real එක ගැන ඇසූ සැණින් නිර්වාණය මතක් වන්නටත් පුළුවන්. එයද වචනවලින් සම්පූර්ණයෙන් විස්තර කළ නොහැකි දෙයක් ලෙස සැලකෙන නමුත්, එපමණකින් ලකාන්ගේ යථ සහ බෞද්ධ නිර්වාණය එකම සංකල්පයක් වන්නේ නැහැ.
රීමාන් උපකල්පනයේදී අප මුහුණ දෙන්නේ සංකේතීයකරණයට ප්‍රතිරෝධය දක්වන දෙයකට නොව, සංකේතීය වශයෙන් ප්‍රකාශ කර ඇති ගැටලුවක සාධනය සහ එහි අවබෝධය අතර ඇති දුෂ්කර සම්බන්ධතාවටයි. විධිමත් තර්කයක් පරිගණකයකින් තහවුරු කළ හැකි වුවත්, එහි සංකල්පීය අර්ථය මිනිසාට වටහාගැනීම තවත් කාර්යයක් විය හැකියි.
එබැවින් මෙහිදී මතුවන්නේ ලකාන්ගේ යථ ජයගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. AI විසින් දැනුම නිෂ්පාදනය කිරීමේ හැකියාව පුළුල් කරන විට, එම දැනුම අවබෝධ කරගැනීමේ මිනිස් හැකියාවත් ඒ සමඟම පුළුල් වෙනවාද? යන ප්රශ්නයයි.
14 විද්‍යාඥයා තවදුරටත් අවශ්‍යද?
මෙම සාකච්ඡාව අවසානයේදී මට මතුවන ප්රශ්නය වන්නේ AI විසින් විද්‍යාඥයා වෙනුවට පෙනී සිටිනවාද යන්න පමණක් නොවෙයි. එයට වඩා වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. AI විසින් විද්‍යාඥයාගේ කාර්යයේ ස්වභාවය වෙනස් කරනවාද?
සාම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රියාවලියේදී විද්‍යාඥයා ප්‍රශ්නයක් හඳුනාගන්නවා. උපකල්පනයක් ඉදිරිපත් කරනවා. එය පරීක්ෂා කිරීමට ක්‍රමයක් නිර්මාණය කරනවා. ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා. අවසානයේදී එම ප්රතිඵලවල අර්ථය පැහැදිලි කරනවා.
කෘත්‍රිම බුද්ධිය මෙම ක්‍රියාවලියේ වැඩි වැඩියෙන් කොටස් භාරගන්නා විට, විද්‍යාඥයාගේ භූමිකාව තවදුරටත් ගණනය කිරීම් සිදුකරන පුද්ගලයෙකුට සීමා නොවිය හැකියි.
ඔහු ප්‍රශ්න තෝරාගන්නා, පවතින න්‍යායන් විවේචනය කරන, AI නිෂ්පාදනය කරන දැනුම පරීක්ෂා කරන සහ එම දැනුමේ අර්ථය සොයා යන පුද්ගලයෙකු ලෙස වඩාත් වැදගත් විය හැකියි. එක්තරා අර්ථයකින් මෙය බුද්ධිමය කාර්යයන් කළමනාකරණය කිරීමක්, නැතිනම් Intellectual Management ලෙසද හැඳින්විය හැකියි.
මේ වෙනස්කම් විද්‍යාත්මක පර්යේෂණවලට පමණක් සීමා වන්නේ නැහැ. ව්‍යාපෘති කළමනාකරණය වැනි ක්ෂේත්රවලටත් ඒවා බලපානවා. Project Management Institute (PMI) ආයතනයද AI තාක්ෂණය ව්‍යාපෘති කළමනාකරණයට ඒකාබද්ධ කිරීම සහ ඒ සඳහා අවශ්‍ය නව නිපුණතා වර්ධනය කිරීම පිළිබඳව දැනටමත් සැලකිය යුතු අවධානයක් යොමු කර තිබෙනවා. ඒ උත්සාහයද මෙහිදී අගය කළ යුතුයි.
කවුද දන්නේ, අනාගතයේදී PMP වැනි වෘත්තීය සහතිකයකට සමාන සහතිකයක් බුද්ධිමය කාර්යයන් කළමනාකරණය කරන Intellectual Managers සඳහාත් අවශ්‍ය වන තත්ත්වයක් ඇතිවේවිද කියා! එහෙත් එවැනි කළමනාකරුවෙකුගේ සැබෑ නිපුණතාව මැනිය යුත්තේ AI පද්ධති කීයක් මෙහෙයවිය හැකිද යන්නෙන් පමණක් නොව, ඒවා නිපදවන දැනුමේ වලංගුභාවය, අර්ථය සහ ප්‍රතිවිපාක පිළිබඳ විනිශ්චයක් කළ හැකිද යන්නෙන්ද විය යුතුයි.
එහෙත් මෙහි අනෙක් පැත්තද තිබෙනවා. AI විසින් නිෂ්පාදනය කරන දැනුම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා විද්‍යාඥයෙකු, තමන් භාවිත කරන පද්ධතියේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු බවට පත්විය හැකියි.
මෙහිදී ලකාන්ගේ කතිකාවන් හතර නැවතත් වැදගත් වෙනවා. විද්‍යාඥයා දැනුම භාවිත කරන විට විශ්වවිද්‍යාලයේ කතිකාව තුළ ක්‍රියාත්මක විය හැකියි. ඔහු පවතින දැනුමේ සීමාවන් ප්‍රශ්න කරන විට හිස්ටීරිකයාගේ කතිකාව තුළින් එම ක්‍රියාවලිය කියවිය හැකියි.
දැනුමට අධිකාරිය ලබාදෙන ආයතනික සහ විධිමත් ව්‍යුහයන් සලකා බැලීමේදී ස්වාමියාගේ කතිකාව වැදගත් වෙනවා. එමෙන්ම සාධනයක් ලැබුණු පසුවත් ඉතිරිවන නොදැනීම සහ එය පිළිබඳ subject කෙනෙකුගේ සම්බන්ධතාව විමසා බැලීමේදී විශ්ලේෂකයාගේ කතිකාවෙන් උපමාත්මක අවබෝධයක් ලබාගත හැකියි.
එහෙත් මේවා එකිනෙකට පසුව අනිවාර්යයෙන් සිදුවන අදියර හතරක් නොවෙයි. එකම පර්යේෂණ ක්‍රියාවලියක් තුළ විවිධ අවස්ථාවලදී වෙනස් කතිකාමය සම්බන්ධතා ක්‍රියාත්මක විය හැකියි.
15 අවසානයක් නොවන අවසානය
ඇල්පොගේ සහ Claude පිළිබඳ සිදුවීම මට වැදගත් වන්නේ කෘත්‍රිම බුද්ධිය මිනිසාට වඩා බුද්ධිමත් බව පෙන්වීමට හෝ මිනිස් බුද්ධිය යන්ත්‍රයකින් ප්‍රතිස්ථාපනය කළ හැකි බව නිගමනය කිරීමට නොවෙයි. මෙහිදී මට පෙනෙන්නේ විද්‍යාත්මක දැනුම නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ වැදගත් වෙනසක්. ප්‍රශ්නයක් ඇසීම, සාධනයක් නිර්මාණය කිරීම, එහි වලංගුභාවය පරීක්ෂා කිරීම සහ එහි අර්ථය අවබෝධ කරගැනීම තවදුරටත් එකම පුද්ගලයෙකුගේ කාර්යයන් විය යුතු නැහැ.
එහෙත් එයින් විද්‍යාඥයාගේ ප්‍රශ්න කිරීම අවසන් වන්නේ නැහැ. ලකාන්ගේ හිස්ටීරිකයාගේ කතිකාව අපට සිහිපත් කරන්නේ දැනුම නිෂ්පාදනය කිරීමට හේතු වන ප්රශ්නය, පිළිතුරක් ලැබුණු පමණින් අවසන් නොවන බවයි. රීමාන් කල්පිතයට සාධනයක් පිළිගනු ලැබුවත්, එම සාධනය ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්න තවත් ගණිතමය සෙවීම්වල ආරම්භය විය හැකියි.
මෙහිදී මට අපේ පැරණි ජනවිශ්වාසයක් මතක් වෙනවා. අංජනම් බැලීමේදී, සාමාන්‍ය ඇසට නොපෙනෙන දුර ඈත දේවල් පවා අංජනම් දේවියගේ පිහිටෙන් දැකගත හැකි බවට විශ්වාසයක් තිබුණා. නැතිවූ දේපළ හෝ සොරෙකු සොයාගැනීමටත් එවැනි ක්‍රම භාවිත කළ බව අප අසා තිබෙනවා. එහෙත් අංජනමෙන් යමක් පෙනුණා යැයි කී පමණින් එය සැබෑ ලෝකයේ සත්‍යයක් බවට පත්වන්නේ නැහැ. දුටු දෙය කුමක්ද, එහි අර්ථය කුමක්ද, එය සැබෑවටම සිදුවී තිබේද යන්න වෙනම සොයා බැලිය යුතුයි.
AI පිළිබඳවත් මට සිතෙන්නේ එවැනි දෙයක්. අපට මෙතෙක් දැකගත නොහැකි වූ ගණිතමය සම්බන්ධතා දැකීමට යන්ත්‍රයක් උපකාර කළ හැකියි. එහෙත් එයින් පෙන්වන දෙයෙහි වලංගුභාවය සහ අර්ථය විමසා බැලීමේ වගකීම අපෙන් ඉවත් වන්නේ නැහැ.
අංජනම් දේවියගේ පිහිටෙන් දුටු දෙයක් දේව වරමක් නිසාම සත්‍යයැයි පිළිගැනීමත්, AI පෙන්වා දුන් දෙයක් යන්ත්‍රයේ බුද්ධිය නිසාම සත්‍යයැයි පිළිගැනීමත් අතර අප කල්පනා කළ යුතු සමානකමක් තිබෙනවා.
අවසානයේදී මට මෙහෙම හිතෙනව.
යන්ත්‍රය අපට මෙතෙක් නොපෙනුණු දේ පෙන්වා දෙන විට, අප සැබවින්ම දැනුමෙන් පොහොසත් වෙනවාද? නැතිනම් අප දකින දෙයෙහි අර්ථය සොයාගැනීමේ තවත් බැරෑරුම් වගකීමක් අප ඉදිරියේ තබනවාද?
ආශ්රිත මූලාශ්‍ර සහ වැඩිදුර කියවීම්
OpenAI — Science at the Frontier
කතුවැකි සටහන: විධිමත් පරිගණක සත්‍යාපනය සහ ගණිත ප්‍රජාව තුළ පුළුල් පිළිගැනීම වෙන වෙනම සලකා ඇත. ලකාන්ගේ කතිකාවන් යොදාගෙන ඉදිරිපත් කරන අදහස් දාර්ශනික අර්ථකථනයන්ය.

