වානිජ කලාකරුවනි


වානිජ කලාකරුවනි

නුඹලා වානිජ කලාවේ නියුතු වූවෝ වෙති
කතෘභාගයෙන් ජීවත් වන්නාහු වෙති
ප්‍රතිභාව විකුණා කමින් ඉන්නාහු වෙති
පාලකයන්ගේ දෙපතුල් සිප ගන්නෝ වෙති

වරප්‍රසාද වෙනුවෙන් රසික ජනයා ගිලටීනයට තල්ලු කරන්නාහු වෙති
සත්‍ය වෙනුවට අසත්‍ය වර නංවා පද තනු පිහිටුවා ගායනා කරන්නාහු වෙති
සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය සාධාරණය කරනු පිණිස ලියන්නො වෙති
සමානාත්මතාව වෙනුවට සිය කුස පුරවා යෙහෙන් කල් ඇරීමේ වෘතය රඟ දක්වන්නෝ වෙති

වැඩිපුර මිනිසුන් ලොල්‍ දේ සොයමින් ඉන්නාහු වෙති
මිනිසුන් ගේ ඥානාක්ෂිය පොට්ට කරමින් නිර්මාණයේ යෙදෙන්නාහු වෙති
‍තොපි කවර කලෙකවත් සැබෑ මිනිසුන්ට කලාවේ ආලෝකය දැල්වූවෝ නොවෙති
තොපේ නිර්ණායක අසන්නට තවමත් රසිකයන් රොද බැඳ ඇතැයි සිතන්නා වූ මුග්ධයෝ වෙති

කොම්පැනිවල මොණර කොල මිටියේ ආනුභාවයෙන් ද
ඔවුන්ගේ බඩු මුට්ටු විකුණා ගත හැකි ලෙස ඉඩ කඩ පාදා දෙවන ම්ලේච්ඡ මාධ්‍ය තරගයේ
පිටපත් රච‍කයෝ වෙති‍
ජනතාව සදාකල්හිම අඥානයන් කිරීමේ කොන්ත්‍රාත්තුව විහින් පවරා ගත්තවුන් වෙති

තොපේ ප්‍රතිභාවේ ආනුශංසයෙන් බාල කිරිපිටි සහ කෑම සාමාන්‍ය මිනිසුන්ගේ ඇගේ ගැසෙති
තොපේ ප්‍රතිභාවේ ඇනවුමෙන් මිනිසුන් ලොතරැයි සූරා දෛවය සොයති
නාඩගම් කරුවන්ට වෙස් අඳිති
තොපේ ප්‍රතිභාවේ අත්‍යන්ත ඵලය මිනිසුන් වල්මත් කරන්නට පමණි
තොපේ ව්‍යාජ නිමැවුමේ රසාස්වාදයෙන් තරුණයෝ නින්දට වැදෙති
තොපේ නිරුවත් කුහක ජීවිත පුවත්පත් පිටු අතර වෛවර්ණ ඡායාරූප මත පනුවන් සේ නලියවති

තොපගේ නිර්මාණ ද
තොපගේ අනුශාසන ද
පාලක පන්තියේ මුග්ධයන්ගේ වහසි බස් අතර
දියව යනු ඇත

නුඹලා නියම ගණනට විකිණුනේ යැයි වහසි බස් බෙනෙනු ඇත

ඊ ඒ ඩෝසන් ප්‍රීති
151209

Comments

Buru Babe said…
ඊයෙ බූන්දියේ වෝල් එකේ ලක්බිම පේපර් කට් එකක් දැක්කාම මටම මේ දේ හිතුනා. එවෙලෙත් හිතුවා ඩොසා මේක දැක්කොත් මේ වගේ කවියක් ලියයි කියලා.


මට කවි ලියන්න දැනුනා නම් මගේ අතිනුත් මේ වගේම එකක් ලියෙවෙයි.
LishWish said…
විකුණවති කෑ ගසා
(සද්?)ගුණවත් පිළියෙන් වැසූ
ගඳ ගහන
පක්ෂග්‍රාහී මාධ්‍යපිටපත්

ඇවිදවති සැම තැන
කියමින් ගුණ ගැයුම්
තරමට තමා
අත ඇති මොණර කොලමිටි

ස්වා ( දීන ) ව කියවන්නට
දතිත් නම් මේ මරුමුස් මාධ්‍ය
නැත වන්නේ කෙදිනක වත්
තවත් එක විසාලාවක්

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්