Friday, February 10, 2012

හදවත් ශල්‍යකර්මය

සීතලට අපමණ පෙම් කළ
මගේ වියපත් චර්ම වහන්තරාව
ඇගේ උණුසුම් ඡවි කල්‍යානයෙන්
හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇත

හැව හැරී නාගයෙකු සේ
මා ඉඳී සයනයේ උඩුකුරුව
ජීවිතය දිස්න දේ
දහදිය දිගේ පපුතුර

නිර්වින්දිත සිරුරු මස තුළ
ඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙත
ධමනි-ශිරා-කපාට හරහා
ඉසියුම්ය ඈ සියුමැලි නිය

හදවත හරහා ඇනී තිබූ
දඩු කටුව ඇද දමා
ඈ හති අරින්නී
මා අසල නිදිවර්ජිතව...

10/02/2012

Monday, February 6, 2012

සිර ගෙවල්

කලකට පෙර
අපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
ජීවිතාන්තය තෙක්
සිර ගෙවල් දෙකක විසුමට

වෙන වෙනම සිපිරි ගෙවල තුළ
සිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙන
හොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුන
ශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගින

නැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
බරපතල වැඩ සහිතව
නමුත් පුරුදු සිර ගෙදරම
වසන්නට දිවි ඇති තෙක්ම...

6/2/2012